Iyerගේ ඒක පුද්ගල සංදර්ශනය මුම්බායි කණ්ඩායම් හැඟීම හමුවේ යටපත් වෙයි

IPL 2023

433
IPL 2023

2023 IPL තරගාවලියේ 22 වැනි තරගය Kolkata Knight Riders සහ Mumbai Indians කණ්ඩායම් අතර මුම්බායි හී Wankhede ක්‍රීඩාංගණයේ දී අද (16) පැවැත්වුනා.

මෙම තරගයෙන් Kolkataවට එරෙහි ව කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Mumbai Indians සමත් වූ අතර එය ඔවුන් මෙවර තරගාවලියේ ලබා ගත් දෙවැනි ජයග්‍රහණය ලෙස සටහන් වුනා.

මෙම තරගයට Mumbai Indians නිත්‍ය නායක Rohit Sharma අසනීප තත්වයක් නිසා සහභාගී වීම අවිනිශ්චිත බව සඳහන් කරමින් Suryakumar Yadav කාසියේ වාසිය උරගා බැලීමට තාවකාලික නායකයා ලෙස පිටියට පිවිසුණු අතර, කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දු යැවීමට ඔහු විසින් තීරණය කළා.

මෙම තරගයේ දී ඉන්දියාව බිහි කළ විශිෂ්ටතම පිතිකරු ලෙස සැලකෙන, එමෙන්ම Mumbai Indians කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකු ද වන Sachin Tendulkarගේ පුත්‍රයා Arjun Tendulkar Mumbai Indians සමඟින් IPL වරම් දිනා ගත්තා. එමෙන්ම Suryaගේ ආරාධනයෙන් යුතු ව පළමුව පන්දුවට පහර දීමට පිවිසි Kolkataවට එරෙහිව පන්දු යැවීම ආරම්භ කළේ ද Arjun විසිනුයි.

Kolkata ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඉනිමට ලකුණු 11ක් පමණක් එක් ව තිබිය දී ලකුණු නොලබා සිටි Narayan Jagadeesanව දවා ගැනීමට Cameron Green විසින් සමත් වූ අතර, ඉන්පසුව පිටියට පිවිසුණ Venkatesh Iyer විසින් Mumbai පන්දු යවන්නන් ව තඹයකට මායිම් නොකරමින් පහර එල්ල කිරීමට පටන් ගත්තා.

Kolkata ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී Shardul Takur විසින් හතරේ පහක් එල්ල කරන තෙක් Iyer හැරෙන්න එකඳු Kolkata පිතිකරුවෙකු හෝ හයේ හෝ හතරේ පහරක් ඉනිමට එක් කර නොතිබීම ම Iyerගේ ඉනිමේ ප්‍රබලත්වය මෙන් ම අනෙක් Kolkata පිතිකරුවන්ගේ පිතිකරණයේ අසාර්ථක බවත් මනාවට පැහැදිලි කරනවා.

මෙහි දී 2008 වසරේ දී පැවැත්වුණු මංගල IPL තරගාවලියේ මංගල තරගයේ දී ම Brbrendon Mccullum විසින් Kolkataව වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමෙන් පසු Kolkataව වෙනුවෙන් දෙවැනි IPL ශතකය වාර්තා කිරීමට Venkatesh Iyer අද සමත් වුනා.

ඉනිමේ 18 වැනි පන්දුවාරයේ දී Kolkataවේ පස්වැනි කඩුල්ල ලෙස Iyer දැවී යද්දී ඔහු විසින් පන්දු 51ක් පමණක් වැය කරමින් ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වී තිබූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ දැවැන්ත හයේ පහර 9කින් වර්ණවත් වී තිබුණා.

Iyerගේ දැවී යාමෙන් අනතුරුව Kolkata ඉනිමට සාර්ථක නිමාවක් සනිටුහන් කිරීමට Andre Russell විසින් සමත් වූ අතර ඔහු පන්දු 11කින් වාර්තා කළ ලකුණු 21 ඉනිමේ දෙවැනියට වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා වුනා.

Mumbai වෙනුවෙන් පන්දු යැවීමේ දී Hrithik Shokeen විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වූ අතර නවක Arjunට නම් සිය මංගල තරගයේ දී යොමු කිරීමට අවස්ථාව හිමි වුනේ පන්දු වාර දෙකක් පමණයි. එමෙන්ම ඔහුට එකඳු කඩුල්ලක් හෝ දවා ගැනීමට ද හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට Kolkata ලකුණු පුවරුව දිස් වුනේ කඩුලු 6කට ලකුණු 185ක් ලෙසයි.

Mumbai නිත්‍ය නායක Rohit සිය නායකත්වයේ වගකීම Surya වෙත පැවරුව ද, Impact Player නීතිය උපයෝගී කර ගනිමින් Mumbai ආරම්භක පිතිකරු ලෙස Ishan Kishan සමඟින් සුපුරුදු ලෙස ම පිටියට පිවිසුණු අතර, ඔහු විසින් පන්දු 13කට මුහුණ දී ලකුණු 20ක් රැස් කිරීමට ද සමත් වුනා.

එමෙන්ම IPL වෙන්දේසියේ දී තමන්ට හිමි වූ වටිනාකම අහම්බයක් නොවන වග ඔප්පු කරමින් Ishan Kishan විසින් Mumbai ඉනිමට අවශ්‍ය ව තිබූ ජයග්‍රාහී අඩිතාලම දැමීමට සමත් වුනේ පන්දු 21ක් පමණක් වැය කරමින් සිය අර්ධ ශතකය වාර්තා කර ගනිමිනුයි.

හයේ පහර සහ හතරේ පහර 5 බැගින් එක් කර ගනිමින් Ishan Kishan විසින් ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ දැවී යාමෙන් පසුව හෝ Kolkataවට නැවත තරගයට අවතීර්ණ වීමට අවස්ථාවක් ලබා දීමට Tilak Varma සහ නායක Suryakumar Yadav ඉඩ දුන්නේ නැහැ.

IPL තරගාවලිය ආරම්භයට පෙර සිට ම අසාමාන්‍ය අසාර්ථකත්වයක් පෙන්නුම් කරමින් සිටි Suryakumar Yadav විසින් අද දිනයේ සිය පැරණි පිතිකරණ විලාශය නැවත ආරූඪ කර ගැනීමට සමත් වූ අතර ඔහු පන්දු 25කින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුනා.

එමෙන්ම ඉනිම අවසන් කරමින් තරගය ජයග්‍රහණය කිරීම සඳහා Tim David විසින් වේගවත් ලකුණු 24ක් ලබා ගත් අතර, ඒ අනුව පන්දුවාර 17.4ක දී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට Mumbai පිතිකරුවන් සමත් වූ අතර තරගයේ වීරයා ලෙස පරාජිත ශතකයක් වාර්තා කළ Venkatesh Iyer විසින් සම්මාන හිමි කර ගත්තා.

මෙහි දී Kolkataව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වීමට සමත් වුනේ නවක පාදඟ පන්දු යවන ක්‍රීඩක Suyash Sharma පමණයි. ඔහු විසින් සිය පන්දුවාර 4 තුල ලකුණු 27කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • Kolkata Knight Riders 185/6 (20) Venkatesh Iyer 104, Andre Russell 21, Hrithik Shokeen 2/34

  • Mumbai Indians 186/5 (17.4) Ishan Kishan 58, Suryakumar Yadav 43, Suyash Sharma 2/27

මෙම ජයග්‍රහණයත් සමඟින් Mumbai Indians මෙවර IPL ලකුණු සටහනේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත් වූ අතර තරගයෙන් පරාජය වූ Kolkata කණ්ඩායම තවමත් ලකුණු සටහනේ පස් වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවී ව නැරඹීමේ ඔබට අවස්ථාව හිමි වී ඇති අතර, ඊට අමතරව සියලු තරග විස්තර සහ විශේෂ අවස්ථා ඔබ හා බෙදාහදා ගැනීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<