ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතය නම් කරයි

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1852
New Zealand Women Tour of Sri Lanka 2023

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

එම කණ්ඩායමට Central Hinds නියෝජනය කරන Rosemary Mair සහ Auckland Hearts නියෝජනය කරන කඩුලු රකින ක්‍රීඩිකා Izzy Gaze කැඳවා තිබෙනවා.

Rosemary Mair අවසන් වරට නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළේ නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී වන අතර පසුව පැවති ලෝක කුසලාන තරගාවලි ද්විත්වය සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ඇයට අහිමි වුනා.

Izzy Gaze බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළත්, ඇයට ලෝක කුසලානය නියෝජනය කළ නවසීලන්ත කණ්ඩායමට එක් වීමට හැකියාව ලැබුණේ නැහැ.

මෙම ක්‍රීඩිකාවන්ගේ නැවත පැමිණීම ගැන අදහස් දක්වමින් නවසීලන්ත පුහුණුකරු වන Ben Sawyer ප්‍රකාශ කළේ,

“Mair සහ Izzy නැවතත් කණ්ඩායමට එක් කර ගැනීමට ලැබීම ගැන අපි සතුටට පත් වෙනවා. එම ක්‍රීඩිකාවන් දෙදෙනාම අවසන් වරට සහභාගී වූ තරග සියල්ල ඉතා කැපවීමෙන් ක්‍රීඩා කළා. ඒ නිසා අපි බලන් ඉන්නවා මෙම තරගාවලියේ දී ඔවුන් කොහොම ද ක්‍රීඩා කරන්නේ කියලා.

ඔවුන් දෙදෙනා කණ්ඩායමට වෙනස්කම් ආකාරයේ ශක්තියක් ගෙන එන අතර ඉතා සාර්ථක සංචාරයක් සඳහා අපි ඔවුන්ගේ දායකත්වය බලාපොරොත්තු වෙනවා.”

මෙය නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව ද වෙනවා.

එම සංචිතයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කර අත්දැකීම් ඇත්තේ Sophie Devine සහ Suzie Bates යන ක්‍රීඩිකාවන්ට පමණක් වන අතර ඔවුන් 2012 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කළා.

සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය Sophie Devine විසින් දරන අතර එම කණ්ඩායමට අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් වන Melie Kerr, Lea Tahuhu සහ Maddy Green ඇතුළත් වෙනවා.

තරගාවලියට සහභාගී වන සංචිතය පිළිබඳ අදහස් දක්වමින් Sawyer ප්‍රකාශ කළේ නව සංචිතය සමඟ වැඩ කරමින් නව තණතීරු වල දී කණ්ඩායමේ දස්කම් දැක ගැනීමට මෙය අවස්ථාවක් බවයි.

“මෙම නුපුරුදු තණතීරු තුළ ශ්‍රී ලංකාව අපිට විශාල අභියෝගයක් එල්ල කරයි. ඒ වගේම එහි තියෙන උෂ්ණත්වය ද අපිට බලපෑම් එල්ල කරනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනට එම සියලු තත්වයන්ට හැඩ ගැහෙන්න.

මෙම සංචිතයට Antigua සහ දකුණු අප්‍රිකාවේ තණතීරු වල ක්‍රීඩා කරලා අත්දැකීම් තියෙනවා. ඒ වගේම කොදෙව් සංචාරයේ තිබූ උෂ්ණත්වය එක්ක අපි හිතනවා ඉක්මනට ශ්‍රී ලංකාවේ උෂ්ණත්වයට හැඩ ගැහෙන්න ලැබෙයි කියලා.

ඒ වගේම අපිට ඉන්දියාව තුළ ක්‍රීඩා කරලා අත්දැකීම් තියෙන ක්‍රීඩිකාවන් කිහිපයක්ම ඉන්න නිසා ශ්‍රී ලංකාව තුල ක්‍රීඩා කරන්න ඔවුන්ගේ අත්දැකීම් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.”

නවසීලන්ත ක්‍රීඩිකා Lauren Down පෞද්ගලික හේතුවක් නිසා මෙම තරගාවලියට සහභාගී නොවන අතර ආබාධ නිසා Hayley Jensen සහ Kate Anderson තරගාවලියට සහභාගී වෙන්නේ නැහැ.

Dean Brownlie මෙම සංචිතයේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර Craig Howard පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සහ Krishnamurthy තරගාවලි පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.

තරගාවලියට සහභාගී වන නවසීලන්ත කණ්ඩායම ජුනි 22 ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔවුන් ජුනි 27 වැනිදා සිය පළමු එක්දින තරගයට සහභාගී වෙනවා.

තරගාවලියට නම් කළ නවසීලන්ත කණ්ඩායම: Sophie Devine (c), Suzie Bates, Bernadine Bezuidenhout, Eden Carson, Izzy Gaze, Maddy Green, Brooke Halliday, Fran Jonas, Melie Kerr, Jess Kerr, Rosemary Mair, Molly Penfold, Georgia Plimmer, Hannah Rowe, Lea Tahuhu.

තරගාවලි කාලසටහන,

  • ජුනි 27 – පළමු එක්දින තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)
  • ජුනි 30 – දෙවැනි එක්දින තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)
  • ජූලි 03 – තෙවැනි එක්දින තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)
  • ජූලි 06 – පුහුණු විස්සයි විස්ස තරගය.
  • ජූලි 08 – පළමු විස්සයි විස්ස තරගය (පී. සරා ක්‍රීඩාංගණය)
  • ජූලි 10 – දෙවැනි විස්සයි විස්ස තරගය (පී. සරා ක්‍රීඩාංගණය)
  • ජූලි 12 – තෙවැනි විස්සයි විස්ස තරගය (පී. සරා ක්‍රීඩාංගණය)

මෙම තරගාවලියේ සහ ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<