එක්දින ලෝක කුසලානයේ දල කාලසටහන එළියට

ICC එක්දින ලෝක කුසලානය 2023

5767
India vs Pakistan set for October 15

එළඹෙන ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කර තිබෙනවා.

එම කාලසටහනට අනුව තරගාවලියේ උණුසුම් ම තරගය වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තරගය පැවැත්වෙන්නේ ප්‍රේක්ෂකයින් 100,000කට අසුන් ගැනීමට හැකි අහ්මදාබාද් ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්තය සහ එංගලන්තය ඔක්තෝබර් 05 වැනිදා තරග වැදීමට නියමිත අතර ඉන් දින තුනකට පසු ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වදිමින් ඉන්දීය කණ්ඩායම තරගාවලිය ආරම්භ කරනවා.

නමුත් එම මූලික කාලසටහනේ අවසන් පූර්ව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ප්‍රකාශයට පත් කර නොමැති අතර අවසන් පූර්ව තරග නොවැම්බර් 15 සහ 16 පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 19 වැනිදායි.

එම කාලසටහනට අනුව ඉන්දියාව සිය මූලික වටයේ තරග ක්‍රීඩාංගණ නවයක පැවැත්වීමට නියමිත අතර එම තරග කාලසටහන පහත පරිදි වේ.

  • ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව – ඔක්තෝබර් 08 (අහ්මදාබාද්)
  • ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය – ඔක්තෝබර් 11 (දිල්ලි)
  • ඉන්දියාව සහ පාකිස්තානය – ඔක්තෝබර් 15 (අහ්මදාබාද්)
  • ඉන්දියාව සහ බංග්ලාදේශය – ඔක්තෝබර් 19 (පූනේ)
  • ඉන්දියාව සහ නවසීලන්තය – ඔක්තෝබර් 22 (ධර්මසාලා)
  • ඉන්දියාව සහ එංගලන්තය – ඔක්තෝබර් 29 (ලක්නව්)
  • ඉන්දියාව සහ සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම – නොවැම්බර් 02 (මුම්බායි)
  • ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව – නොවැම්බර් 05 (කල්කටා)
  • ඉන්දියාව සහ සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම – නොවැම්බර් 11 (බැංගලෝර්)

එම මූලික කාලසටහනට අනුව පාකිස්තානය සිය තරග ක්‍රීඩාංගණය පහක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එමෙන්ම තරගාවලියේ ප්‍රධාන තරග වන ඕස්ට්‍රේලියා නවසීලන්ත තරගය ධර්මසාලා ක්‍රීඩාංගණයේත් (ඔක්තෝබර් 29), ඕස්ට්‍රේලියා සහ එංගලන්ත තරගය අහ්මදාබාද් ක්‍රීඩාංගණයේත් (නොවැම්බර් 04) පැවැත්වෙන අතර නොවැම්බර් 01 වැනිදා දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගය පූනේ ක්‍රීඩාංගණයේත් පැවැත්වෙනු ඇත.

මෙවර තරගාවලි කාලසටහන නිකුත් කිරීම පෙර අදියරවලට වඩා ප්‍රමාද වී තිබෙන අතර අවසන් තරගාවලි දෙකෙහි කාලසටහන තරගාවලිය ආරම්භ වීමට වසරකට පෙර නිකුත් කර තිබුණා.

ලෝක කුසලාන කාලසටහන ඊයේ (11) අවසන් වූ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය අතරතුර නිකුත් කරන බව ඉන්දීය ක්‍රිකට් ලේකම් Jay Shah මීට පෙර ප්‍රකාශ කළත් එය ප්‍රමාද වීමට හේතුව ඔහු සඳහන් කර තිබුණේ නැහැ.

එමෙන්ම කාලසටහන ගැන අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරි Geoff Allardice ප්‍රකාශ කළේ එය හැකි ඉක්මනින් මාධ්‍ය වෙත නිල වශයෙන් නිකුත් කරන බවයි.

මෙම කාලසටහන ප්‍රමාද වීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ප්‍රවේශ පත්‍ර තොරතුරු නිකුත් කිරීමට නොහැකි ව තිබෙන අතර ප්‍රේක්ෂකයින්ට ද සිය ගමන් සැලසුම් සකස් කිරීමට නොහැකිව තිබෙනවා.

2023 එක්දින ලෝක කුසලානය ඇතුළු ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

ESPNcricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<