ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයක්

104

ක්‍රීඩා වැරදි, තරග පාවා දීම් හා තහනම් උත්තේජක භාවිතා කිරීම්වලින් තොර රටක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය දා සාධනීය පියවර රැසක් ක්‍රියාත්මක කළේය.

ඒ අතර “ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය” පිහිටුවීමට හැකි වීම ප්‍රධාන තැනක් ගනියි. 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ සිදු වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන කළ හැකි බලතල සහිතව මෙම ආයතනය ස්ථාපිත වීම විශේෂිතය.

2020 පෙබරවාරි 11 වැනිදා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරය අසල පිහිටි කාර්යාලයක ස්ථාපිත වූ “ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය” එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා යටතේ ක්‍රියාත්මක ය.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ යම් වරදක් වෙතොත් මෙම විමර්ශන ඒකකය වෙත පැමිණිලි කිරීමට අවශ්‍ය නම් එම පැමිණිලි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ හැකිය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම විමර්ශන ඒකකයේ කටයුතු විධිමත්ව ජනතාවට සමීප කිරීමට පියවර ගෙන ඇත.

මෙම පනතෙහි අරමුණු සහ විධිවිධාන අනුව පහත පියවර සඳහා අවස්ථාව තිබේ.

  1. ක්‍රීඩාවල තරග පාවා දීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම් හා ඔට්ටු ඇල්ලීම වැළැක්වීම.
  2. ක්‍රීඩාවල තරග පාවා දීම, දූෂණය, නිති විරෝධී මෙහෙයවීම් හා ඔට්ටු ඇල්ලීම හා සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා සහ ක්‍රීඩාවල යහපත් පරිචයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා සංවිධාන, නීතිය බලාත්මක කිරීමේ නියෝජිතායතන සහ ඔට්ටු මෙහෙයුම්කරුවන් අතර ජාතික හා අන්තර්ජාතික සහයෝගීතාවය ශක්තිමත් කිරීම.
  3. ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නිති විරෝධී මෙහෙයවීම් හා ඔට්ටු ඇල්ලීම හා සම්බන්ධ ගැටලු පිළිබඳ දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීම සහ ආශ්‍රිත පාර්ශවයන් අතර සම්බන්ධීකරණය වර්ධනය කිරීම පිණිස වැඩසටහන් පැවැත්වීම.
  4. ජාතික ක්‍රීඩාවල අවංකභාවය ආරක්ෂා කිරීම සහ පවත්වා ගෙන යාම.
  5. ක්‍රීඩාවල තරග පාවා දීමට, දූෂණයට නීති විරෝධි ‍මෙහෙයවීමට සහ නීති විරෝධි ඔට්ටු ඇල්ලීමට එරෙහිව වූ වැළැක්වීමේ පියවර නීතිය බලාත්මක කිරීමේ නියෝජිතායතන සමඟ ඒකාබද්ධව හඳුන්වා දීම සහ ප්‍රවර්ධනය කිරීම.
  6. වෘත්තීය ක්‍රීඩකයින්ගේ කීර්ති නාමය සහ ජීවන වෘත්තිය ආරක්ෂා කිරීම.
  7. ක්‍රීඩාවල තරග පාවා දීමට, දූෂණයට නීති විරෝධි ‍මෙහෙයවීමට සහ නීති විරෝධි ඔට්ටු ඇල්ලීම යන වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ස්වාධීන, අපක්ෂපාති විශේෂ විමර්ශන ඒකකයක් පත් කිරීම.

මෙහි දී ක්‍රීඩාවල තරග පාවාදීම, ක්‍රීඩා සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීම සහ එවන් වැරදි සඳහා ආධාර අනුබලදීමේ චෝදනාවන් සඳහා ගරු නීතිපතිතුමා විසින් මහාධිකරණයේ නඩු පැවරිය යුතු ය.

එම වැරදි ඔප්පු වී වරදකරුවකු වුවහොත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන සියයකට වැඩි නොවන දඩයකට හෝ වසර දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් විය යුතුය.

සෙසු චෝදනා යටතේ ගොනු කරන නඩු කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයක දී විභාග වන අතර, ඒ සඳහා වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂ දෙකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නො ඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය.

යම් පාර්ශවයක් සාවද්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් පනත අනුව ඔවුන් හට රුපියල් ලක්ෂයකට වැඩි නොවන දඩයක් හෝ වසර තුනක් නොඉක්මවන කාලයක් සඳහා සිර දඬුවමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් කළ හැක.

මෙම පනත යටතේ ඇති වැරදි,  ඇප දිය නොහැකි වරදක් සේ සැලකේ.

*සැ.යු – මෙය ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් එවනු ලැබූ මාධ්‍ය නිවේදනයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<