ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි

Sri Lanka Tour of New Zealand 2023

463

ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතයක් නම් කර ඇති බව Cricbuzz වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

පසුගිය සඳුදා (පෙබරවාරි 28) දිනෙන් නිමා වූ එංගලන්තය සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ නවසීලන්ත සංචිතයම මෙම තරගාවලියටත් සහභාගී කර ගැනීමට ඔවුන් තීරණය කර ඇති නමුත්, ඒ අතරින් Jacob Duffy සහ Ish Sodhiට පමණක් සංචිතයේ ඉඩ ඇහිරී තිබෙනවා.

එමෙන්ම සුළු ආබාධ තත්ව ඇති බව වාර්තා වූ Devon Conway සහ Matt Henry දෙදෙනාම සංචිතයේ රඳවා තබා ගැනීමටත් ඔවුන් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් නවසීලන්ත ක්‍රිකට් සමඟ තිබූ කොන්ත්‍රාත්තු පදනමින් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසු නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Trent Boult තවමත් සංචිතය සමඟ එක්කර ගැනීමට නොහැකි වී ඇති අතරම, තවත් වේගපන්දු යවන්නෙකු වන Kyle Jamiesonගේ කොන්දේ ඇති වී ඇති ආබාධයක් නිසා ඔහුට ද මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.

“මෙතන ඉන්න 13 දෙනා ඉදිරියට යන්න හොඳම ක්‍රීඩකයින් 13 බව අපිට හැඟෙනවා. මම හිතන්නේ ඔබ ඒ වගේ ජයග්‍රහණයක් ලැබූ පසු (වෙලිංග්ටන් හිදී එංගලන්තයට එරෙහිව ලද ජයග්‍රහණය) ඔබේ ආත්ම විශ්වාසය දියුණු වෙනවා.”

අද (02) නවසීලන්ත පුහුණුකරු වන Gary Stead විසින් එසේ පවසා තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය මාර්තු 9 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර, මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සහභාගී වීමේ බලාපොරොත්තුවක් හෝ ඉතිරි කර ගැනීමට නම් නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග ද්විත්වයම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අනිවාර්යය වී තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කර ඇති නවසීලන්ත සංචිතය මෙසේයි;

Tim Southee (නායක), Tom Blundell , Michael Bracewell, Devon Conway, Matt Henry, Tom Latham, Daryl Mitchell, Blair Tickner, Neil Wagner, Scott Kuggeleijn, Henry Nicholls, Kane Williamson, Will Young

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්තය සංචාරය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<