පාසල් රග්බි පිටියේ පළමු සතියේ පෙරවදන

Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය 2022

3338

වසර දෙකක නියඟයකින් අනතුරුව Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය අද (23) කොළඹ හැව්ලොක් හිදී ආරම්භ වුනා.

වසර දෙකක කාලයකට පසු ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ නව අරුණලු සනිටුහන් කරමින් මෙවර පාසල් තරගාවලිය සඳහා නැවුම් කණ්ඩායම් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

2020 වසරේ දී Covid-19 වසංගතය නිසාවෙන් පාසල් රග්බි ලීග් තරගාවලිය අවලංගු කිරීමට සිදු වුනා. ඒ තරගාවලිය ආරම්භ වී සති දෙකකට පසුවයි. රග්බි ක්‍රීඩාව ක්‍රීඩකයන් එකිනෙක ගැටෙන අවදානමක් සහිත තරගයක් වීම නිසාවෙන් සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පනවා තිබූ දැඩි සෞඛ්‍ය රෙගුලාසි හේතුවෙන්, 2021 වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් රග්බි තරගාවලිය අවලංගු කිරීමට සිදු වුනා.

කෙසේ වෙතත් එම වසරේ අග භාගයේ දී Dialog පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය රට පුරා ක්‍රීඩාංගණ කීපයක දී පැවැත්වුනා. නමුත් පාසල් රග්බි ක්‍රීඩාවේ උද්වේගකර තරගාවලිය වන මෙම තරගාවලිය බොහෝ දෙනා බලා සිටි තරගාවලියක් බවට පත්ව තිබෙනවා.

මෙවර තරගාවලියේ A කාණ්ඩය සඳහා කණ්ඩායම් 12ක් එක්ව සිටින අතර එම කණ්ඩායම් කාණ්ඩ දෙකකට බෙදා මූලික වටයේ තරග පැවැත්වීමට නියමිත වනවා. අදින් ආරම්භ වන පළමු කාණ්ඩයේ A කොටසේ ආරම්භක සතියේ තරග හයක් පිළිබඳව ThePapare.com ගෙන එන සටහනක් මේ.

ක්‍රීඩාවේ ප්‍රමුඛයා වන ThePapare.com මෙම තරග 6 සජීවීව ඔබ වෙත ගෙන ඒමට සූදානම්.

සාන්ත ජෝසප් විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය

  • ස්ථානය: හැව්ලොක් පාර්ක් ක්‍රීඩාංගණය, කොළඹ
  • දිනය: 2022 ජුනි 23
  • කණ්ඩායම: 1A

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට 2020 දී මුණගැසුණු අතර එම තරගයේ දී සාන්ත ජෝසප් කණ්ඩායමට එරෙහිව ලකුණු 24-17ක සමීප ජයක් වාර්තා කිරීමට කිංග්ස්වුඩ් කණ්ඩායම සමත් වුනා.

මෙවර තරගාවලියේ ආරම්භක තරගය ලෙස මෙම කණ්ඩායම් අතර තියුණු තරගයක් අපේක්ෂා කළ හැකි වනවා. සාන්ත ජෝසප් කණ්ඩායම 2015 වසරේ දී 24-17ක් ලෙස සහ 2018 වසරේ දී 26-22ක් ලෙස කිංග්ස්වුඩ් හමුවේ පරාජය වී තිබෙනවා. සාන්ත ජෝසප් – කිංග්ස්වුඩ් රග්බි ඉතිහාසයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට කිංග්ස්වුඩ් කණ්ඩායමට හැකි වනවා. නමුත් මෙවර තරගාවලියේ දී සිය ආධිපත්‍ය තහවුරු කිරීමට ජෝසප්වරු සූදානමින් සිටිනවා.

2022 වසර සඳහා සාන්ත ජෝසප් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ටෙරාන් කරුණානායක විසින්. ඔහු wing ක්‍රීඩකයෙකු ලෙස සිය රග්බි ජීවිතය ආරම්භ කළ නමුත් මෙම වාරයේ දී මැදපෙළ වෙත මාරු වී තිබෙනවා. කරුණානායකගේ නියෝජ්‍ය නායකයා ලෙස රහෙල් ජයවර්ධන wing ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනවා. පළපුරුදු පුහුණුකාරවරයෙකු වන නිල්ෆර් ඊබ්‍රහිම් මෙවර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඉදිරිපෙළ පුහුණුකරු ලෙස දුලාංජන විජේසිංහ කටයුතු කරනවා.

සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් වෙත පීඩනයක් එල්ල කළ හැකි No 8 ක්‍රීඩකයා වන නවීන් මාරසිංහ තරගාවලිය පුරාම ඔවුන්ගේ ප්‍රහාරක සැලසුම්වල කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වනවා.

අවසන් වරට පැවති 2019 තරගාවලියේ දී සාන්ත ජෝසප් කණ්ඩායම තරග නවයකින් ජයග්‍රහණ හයක් වාර්තා කළ අතර, අවසන් ප්‍රසාද ලකුණු සටහනේ රාජකීය හා සාන්ත පීතර කණ්ඩායමට පිටුපසින් අංක තුනේ ස්ථානයේ රැඳී සිටීමට සාන්ත ජෝසප් කණ්ඩායම සමත් වුනා. කිංග්ස්වුඩ් කණ්ඩායම පලඟ ශූරයන් බවට පත්වුනා.

Centre ක්‍රීඩක ගිහාන් රණවීරගේ නායකත්වයෙන් යුත් රැන්ඩල්ස් බලඇණිය තරගාවලිය තුළ කණ්ඩායම් කීපයක් පුදුමයට පත්කිරීමට සමත් වනු ඇති. බුද්ධික තලගම්පොල කිංග්ස්වුඩ් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර රොෂාන් වීරරත්න පසුපෙළ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

රාජකීය විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය

  • ස්ථානය: රාජකීය සංකීර්ණය, කොළඹ
  • දිනය: 2022 ජුනි 24
  • කණ්ඩායම: 1A

Covid-19 වසංගතයට පෙර අඛණ්ඩව වාර තුනක් ශූරතාව හිමි කර ගත් වත්මන් ශූරයන් වන රාජකීය විද්‍යාලය තවත් වසරක් ශූරතාවය රඳවා ගැනීමට මෙවර තරගාවලියේ දී උත්සාහ කරනු ඇති. දුෂාන්ත් ලෙව්කේ විසින් නැවත වරක් පුහුණු කරනු ලබන කණ්ඩායමේ නායකයා ලෙස full-back ක්‍රීඩක හර්ෂිත් පීරිස් කටයුතු කරන අතර උපනායකයා ලෙස කවීන් සාරංග කටයුතු කරනවා.

රාජකීය කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයින් කීපදෙනෙකු තම කණ්ඩායමේ සිටීම නිසා ඔවුන්ට නැවත වරක් ශූරතාවය ලබා ගැනීම තරමක අභියෝගයක් වනු ඇති. එම අභියෝගයේ දී ආරම්භක සතියේ දී ජයග්‍රහණයක් ලබා ගැනීම ඔවුන්ගේ ප්‍රථම බලාපොරොත්තුව වනවා. 2020 දී පැවති රාජකීය – සාන්ත අන්තෝනි තරගයේ දී රාජකීය විද්‍යාලය ලකුණු 41-14ක ජයක් වාර්තා කළා.

සාන්ත අන්තෝනි කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ No 8 ක්‍රීඩක ජෙයාන් අමරසිංහ විසින්. ඔහුගේ පියා දම්මික අමරසිංහ සහ වැඩිමහල් සොහොයුරන් වන දිනුක්, රුවන් සහ මතීෂ් යන සියලු දෙනාම රග්බි ක්‍රීඩකයන් වනවා.

විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක ලෙස කටයුතු කරන ජෙයාන්ගේ නියෝජ්‍ය නායකයා ලෙස මලික්ෂ පෙරේරා කටයුතු කරනු ඇති. 2022 වසරේ සාන්ත අන්තෝනි රග්බි සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස සුමේධ මාලවන කටයුතු කරනවා.

2019 වසර සාන්ත අන්තෝනි කණ්ඩායමට යම් පසුබෑමක් එල්ල කළ වසරක් වන අතර ඔවුන් එම වසරේ දී තරගාවලිය නිමා කළේ පලඟ ශූරතාවලියේ 3 වැනි ස්ථානයට පත් වෙමින්. නමුත් ඔවුන් සෑමවිටම පාසල් රග්බි පථයේ පෙරළිකාර කණ්ඩායමක් වනවා.

ඉසිපතන විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතර තරගය

  • ස්ථානය: හැව්ලොක් පාර්ක්, කොළඹ
  • දිනය: 2022 ජූනි 24
  • කණ්ඩායම: 2A

ඉසිපතන සහ විද්‍යා කණ්ඩායම් දෙකම මෙවර තරගාවලිය සඳහා ප්‍රබල කණ්ඩායම් එක්කර ඇති අතර වේගවත් ධාවන සහිත තරගයක් බලාපොරොත්තු විය හැකි වනවා. 2020 වසරේ දී පැවති තරගයේ දී ඉසිපතන කණ්ඩායම විසින් විද්‍යා කණ්ඩායම ලකුණු 17-10ක් ලෙස ඔවුන්ගේ සත්කාරක ක්‍රීඩාංගණය වන හැව්ලොක් පිටියේ දී පරාජය කළා.

ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමට 2019 වසරේ වයස අවුරුදු 16න් පහළ තරගාවලියේ ශූරයන් වූ කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇතුළත් වනවා.

‘Green Machine’ ලෙසින් ප්‍රසිද්ධියට පත් ඉසිපතන කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ 2020 වසරේ විද්‍යා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ ThePapare ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු පළපුරුදු ඉදිරිපෙළ ක්‍රීඩක දහන් නිතින වික්‍රමාරච්චි විසින්. ඉදිරිපෙළ පුහුණුකරු ලෙස සාලිය කුමාර කටයුතු කරන අතර ධනුෂ්ක බොතේජු සහය පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

විද්‍යා විද්‍යාලයේ හොඳම තරග වාරය ලෙස 2015 වසරේ තරග වාරය හැඳින්විය හැකි වනවා. එහි දී අවසන් මහා තරගයේ දී ඉසිපතන විදුහල පරදවා ජනාධිපති කුසලානය දිනා ගැනීමට ඔවුන් සමත් වුනා. මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන අමිල චතුරංග විද්‍යා විද්‍යාල රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර හංසක ලක්ෂාන් No 8 ස්ථානයේ සිට කණ්ඩායම මෙහෙයවනවා.

සාන්ත පීතර විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර තරගය

  • ස්ථානය: කොළඹ සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණය
  • දිනය: 2022 ජුනි 25
  • කණ්ඩායම: 2A

බොහෝ විචාරකයන්ට අනුව මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම වන සාන්ත පීතර විද්‍යාලයේ සංචිතය සඳහා බොහෝ පළපුරුදු ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වනවා. සනත් මාටිස්ගේ පුහුණුකාරීත්වය සමඟින් ක්‍රීඩා කරන පීතර කණ්ඩායමට ඔවුන්ගේ සංචිතයේ ඕනෑ තරම් පළපුරුදු ක්‍රීඩකයන් සිටින නිසාවෙන් ඔවුන් පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් වනවා.

2019 වසරේ දී සාන්ත පීතර කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වූ අතර පසුව ජනාධිපති කුසලානය දිනා ගැනීමට සමත් වුනා. මෙවරත් ඔවුන් තවත් ප්‍රබල තරගාවලියක් ඉලක්ක කරගෙන සිටිනවා. හිටපු Fly Half ක්‍රීඩක සන්දේශ් ජයවික්‍රමගේ සොහොයුරා වන සෙන්ටර් ක්‍රීඩක සුදේශ් ජයවික්‍රමගේ නායකත්වයෙන් තරගාවලියට එක්වන සාන්ත පීතර කණ්ඩායමේ උපනායකයන් දෙදෙනා ලෙස prop ක්‍රීඩක චනුප කුරේ සහ Fly Half ක්‍රීඩක වින්ද්‍ය ද මෙල් හට හිමිව තිබෙනවා.

අනෙක් අන්තයෙන් තරගයට පිවිසෙන කන්ද උඩරට ධර්මරාජ කණ්ඩායම සිය සම නායකයන් වන සෞම්‍ය විජේසිරි සහ තේනුක වික්‍රමසිංහගේ සංයෝජනය මත දැඩි ලෙස විශ්වාසය තබා තිබෙනවා.

කණ්ඩායමේ ප්‍රබලයා ලෙස සෞම්‍ය විජේසිරි ඕනෑම වෙලාවක ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ හැකි ක්‍රීඩකයෙක් වනවා. Fly Half ක්‍රීඩකයා වන ඔහු විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම ද නියෝජනය කරන අතර ඕනෑම පාදයකින් පන්දුවට පයින් ගැසිය හැකි ක්‍රීඩකයෙකු වීම විශේෂත්වයක්. තේනුක වික්‍රමසිංහ ශක්තිමත් ඉදිරිපෙළ සාමාජිකයෙකු වන අතර ප්‍රතිවාදීන්ට බරපතළ තර්ජනයක් එල්ල කරනු ලබනවා.

සාන්ත පීතර කණ්ඩායම ඔවුන්ගේ සත්කාරක තත්වයන් තුළ ක්‍රීඩා කිරීමේ දී වැඩි දස්කම් දක්වන නමුත් ධර්මරාජ කණ්ඩායම ද කිසිසේත්ම අවතක්සේරු කළ හැකි වන්නේ නැහැ. ධර්මරාජ පුහුණුකරු ලෙස ලසින්ත ද කොස්තා කටයුතු කරනු ලබනවා.

බම්බලපිටියේ දී පැවති 2020 වාරයේ ආරම්භක තරගයේ දී සාන්ත පීතර කණ්ඩායම ධර්මරාජ කණ්ඩායම ලකුණු 50-14ක් ලෙස පරාජය කිරීමට සමත් වුනා.

ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

  • ස්ථානය: පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණය, මහනුවර
  • දිනය: 2022 ජුනි 25
  • කණ්ඩායම: 1A

සාන්ත තෝමස් කණ්ඩායම පල්ලෙකැලේ වෙත දිගු ගමනක් යාමට නියමිත අතර ඔවුන්ගේ වාරයේ ආරම්භක තරගය ඔවුන්ගේ පරම ප්‍රතිවාදී ත්‍රිත්ව විද්‍යාලය සමඟ ක්‍රීඩා කිරීම තරමක අභියෝගයක් වනවා. මෙම තරගය කැනන් ආර්. එස්. ද සේරම් පලිහ සඳහා පැවැත්වෙනවා.

මීට මාස තුනකට පෙර කොළඹ පැවති තරගයේ දී තෝමස් කණ්ඩායම ත්‍රිත්ව පිලට එරෙහිව ලකුණු 17-14ක් ලෙස තියුණු තරගයකින් ජයග්‍රහණය කරමින් කැනන් ආර්. එස්. ද සේරම් පලිහ නැවත ලබා ගැනීමට සමත් වුනා.

2021 වසරේ දී තෝමස් කණ්ඩායම නියෝජනය කළ බොහෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සේවය කණ්ඩායමට අහිමි වී තිබෙනවා. එබැවින් ත්‍රිත්ව කණ්ඩායම ඔවුන්ගේම ක්‍රීඩාංගණයේ දී මිහිරි පළිගැනීමක් සඳහා උත්සාහ කරමින් සිටිනවා.

ත්‍රිත්ව පිලේ නායක ලිත්මාල් මොරගොඩ විදුහලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයකු වන අතර පාසලේ මලල ක්‍රීඩා නායකයා ද වනවා. සෙන්ටර් ක්‍රීඩක ලිත්මාල් මොරගොඩට විශාල සහයක් ඉදිරිපෙළ ක්‍රීඩකයන් වන චමේන්ද්‍ර ධනපාල, ලෝෂික විජේකෝන් සහ Kaveesha Edama මෙන්ම Fly Half Attab Manzilගෙන් හිමිවනවා.

කාවින්ද ජයසේන ත්‍රිත්ව පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ප්‍රදීප් බස්නායක සහ තුසිත ද සිල්වා පිළිවෙළින් ඉදිරිපෙළ සහ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

සාන්ත තෝමස් කණ්ඩායමේ නායක Chariya Kurukulasuriya අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරන ලබනවා. කෙසේ වෙතත් තෝමස් පසුපෙළ ක්‍රීඩකයන් වන Jaden Koch, Averan Noah සහ අකිර පෙරේරා ඔවුන්ගේ ප්‍රධාන තුරුම්පු වනවා.

යෙහාන් බුලත්සිංහලගේ Fly Half ස්ථානයේ ක්‍රීඩා කරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස පළපුරුදු ශම්ලි නවාස්, පසුපෙළ පුහුණුකරු ලෙස අසංග රුද්‍රිගෝ සහ පුහුණුකරු ලෙස ඩිලාන් සොයිසාගෙන් තෝමස් පුහුණු ඒකකය සමන්විත වනවා.

වෙස්ලි විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය

  • ස්ථානය: CR&FC ක්‍රීඩාංගණය, කොළඹ
  • දිනය: 2022 ජුනි 25
  • කණ්ඩායම: 2A

2018 වසරේ දී වයස අවුරුදු 16න් පහළ ශූරතාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් මෙන්ම 2019 දී එම වයස් කාණ්ඩයේ අනුශූරතාවය හිමිකරගත් සංචිතයේ ක්‍රීඩකයන් රැසක් මෙවර වෙස්ලි කණ්ඩායම නියෝජනය කරනු ලබනවා. එම කරුණු සලකා බලන විට මෙම වත්මන් වෙස්ලි කණ්ඩායම මෙවර ශූරතාවය දිනා ගැනීමේ බලාපොරොත්තු රැසක් සමඟින් තරගාවලියට එක්ව සිටිනවා.

මෙම කණ්ඩායම් දෙක ඔවුන්ගේ 2020 වාරය ආරම්භ කිරීම සඳහා එකිනෙකා සමඟ ක්‍රීඩා කළ අතර එහි දී වෙස්ලි කණ්ඩායම ලකුණු 36-06ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. මෙවර තරග වාරයේ වෙස්ලි නායකයා ලෙස full back තරුෂ ජයවීර නම් කර තිබෙනවා. කණ්ඩායමේ prop ක්‍රීඩක හෆීස් තබීත්, Fly Half ක්‍රීඩක ශවීන් ජයවර්ධන සහ Shem Elisha ප්‍රතිවාදීන් අවධානය යොමු කළ යුතුම ක්‍රීඩකයන් වනවා.

විදේශගත වීමට සිදුව ඇති ක්‍රිෂාන් වෙත්තසිංහ නොමැති නිසා ප්‍රධාන පුහුණුකරු ලෙස ශෙහාන් ඩයස් කටයුතු කරන අතර ඔහුගේ සහය පුහුණුකරු ලෙස සාලිය හඳපාන්ගොඩ කටයුතු කරනවා.

විද්‍යාර්ථ සංචිතයේ පුහුණුකරු ලෙස නලින් විජේසිංහ කටයුතු කරන අතර පළපුරුදු centre ක්‍රීඩකයෙකු වන අරෝෂ් රත්නායක විද්‍යාර්ථ නායකයා වනවා. Prop ක්‍රීඩක කවිශ්ක කාවින්ද සහ Flanker ඉෂාර ලක්ෂාන් වැනි පළපුරුදු ක්‍රීඩකයන් කීපදෙනෙකුම මෙවර විද්‍යාර්ථ කණ්ඩායම නියෝජනය කරනවා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<