Warrior සත් සාමාජික රග්බි කුසලානය ගුවන් හමුදාවට

Warriors සත් සාමාජික රග්බි තරගාවලිය - 2021

267

ප්‍රබල පොලිස් ‘A’ කණ්ඩායම නොසිතූ ලෙස පරාජය කරමින් Warrior සත් සාමාජික රග්බි කුසලානය ජයග්‍රහණය කරන්නට ගුවන් හමුදා ‘A’ කණ්ඩායම අද (31) සමත් වුනා. තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුණේ ලකුණු 23-00ක් ලෙසයි.

CH&FC, යුද හමුදා ‘A’ හා හැව්ලොක් කණ්ඩායම් පිළිවෙළින් පලඟ, බඳුන හා පලිහ ශූරතා දිනා ගත්තා.

තරගාවලියේ දෙවැනි දිනය වූ අද තරග ආරම්භ වුනේ CH&FC හා නාවික හමුදා ‘B’ අතර කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන්. තියුණු තරගයකට පසුව එම තරගය ජය ගන්නට සමත් වුනේ රග්බි තරු රැසක් සමඟින් තරග කරන CH&FC ක්‍රීඩා සමාජයයි.

යුද හමුදා Colts කණ්ඩායම පහසුවෙන් පසු කර යන්නට පොලිස් කණ්ඩයම සමත් වුනේ ලකුණු 19-05ක් ලෙසයි. යොවුන් ගුවන් හමුදා ‘A’ කණ්ඩායම පළමු දිනයේ ජයග්‍රාහි රැල්ල දිගටම පවත්වා ගනිමින් යුද හමුදා ‘A’ කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කළා.

දිනයේ අවසන් කුසලාන අර්ධ අවසන් පූර්ව තරගය පැවැත් වුනේ නාවික හමුදා ‘A’ හා හැව්ලොක් කණ්ඩායම් අතරයි. විශිෂ්ට ක්‍රීඩා විලාසයක නිරත වූ නාවික හමුදා ක්‍රීඩකයෝ හැව්ලොක් කණ්ඩායමට එකදු ලකුණක් හෝ රැස් කිරීමට ඉඩක් ඉතිරි කළේ නැහැ.

Team ‘A’ Score Team ‘B’ Score
CH & FC 15 නාවික හමුදා – B 10
පොලිස් – A 19 යුද හමුදා – Colts 05
ගුවන් හමුදා – A 33 යුද හමුදා – A 17
නාවික හමුදා – A 31 හැව්ලොක් 00

 

කුසලාන අවසන් පූර්ව වටය

සචිත් සිල්වාගේ සුපිරි දස්කම්වල සවියෙන් පොලිස් කණ්ඩායම ප්‍රබල CH&FC පරාජය කළා. තරු රැසක් පිරුණු CH&FC කණ්ඩායමට අවශ්‍යම මොහොතේ සාර්ථක වීමට නොහැකි වීම කැපී පෙනුණා.

  • CH&FC 14 – 17 පොලිස්

දෙවැනි අවසන් පූර්ව වටය පැවැත් වුනේ නාවික හමුදා ‘A’ හා ගුවන් හමුදා ‘A’ කණ්ඩායම් අතරයි. ප්‍රබල නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසෙන්නට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වුනා.

තරගයේ අවසන් මොහොත වන විට නාවික හමුදාව ලකුණු 7-5ක් ලෙස ඉදිරියෙන් සිටියා. හිටපු ඉසිපතන ක්‍රීඩකයෙක් වන රමිත ද සිල්වා අවසන් මොහොතේ ක්‍රියාත්මක වුනේ ගුවන් හමුදාවට තියුණු ජයක් ගෙනෙමිනුයි.

  • ගුවන් හමුදා A’ 12 – 07 නාවික හමුදා A

කුසලාන අවසන් පූර්ව තරගවලට පෙර බඳුන/පලිහ අවසන් පූර්ව තරග පැවැත්වුණු අතර එහි දී නාවික හමුදා ‘B’ කණ්ඩායම යුද හමුදා Clots කණ්ඩායම පරාජය කළා. දෙවැනි අවසන් පූර්ව වටයේ දී හැව්ලොක් කණ්ඩායම යුද හමුදා ‘A’ කණ්ඩායම පරාජය කළා.

නාවික හමුදා – B 33 යුද හමුදා – Colts 00
යුද හමුදා – A 31 හැව්ලොක් 00

 

9 හා 10 වැනි ස්ථාන අතර තරගය

ගුවන් හමුදා ‘B’ කණ්ඩායම පොලිස් – Griffins පරාජය කරන්නට සමත් වුනා. ඒ ලකුණු 7-5ක් ලෙසයි. ඉමේෂ් අපොන්සුගේ උත්සාහක දිනුමක් අශෝක් විජයකුමාර අලංකාර ලෙස ප්‍රවර්තනය කළේ තරගයේ ජය ගුවන් හමුදා කණ්ඩායමට රැගෙන එමිනුයි.

පලිහ අවසන් මහා තරගය

යුද හමුදා Colts පරාජය කරමින් පලිහ කුසලාන දිනා ගන්නට හැව්ලොක් සමත් වුනා. පෙර තරග දෙකේ දී ම පසුබසින්නට සිදු වුනත්, හැව්ලොක් මේ තරගයේ දී උත්සාහක දිනුම් පහක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

බඳුන අවසන් මහා තරගය

නාවික හමුදා ‘B’ කණ්ඩායම යුද හමුදා ‘A’ කණ්ඩායම හමුවේ පසුබැස්සා. යුද හමුදා කණ්ඩායම තරගයේ පෙරමුණ ගත්තේ උත්සාහක දිනුම් තුනක් සමඟින් ලකුණු 19ක් රැස් කරමිනුයි.

රවීන් ද සිල්වා නාවික හමුදා ‘B’ වෙනුවෙන් උත්සාහක දිනුමක් රැස් කළේ නාවික හමුදා කණ්ඩායම නැවතත් තරගයට රැගෙන එමිනුයි. අනතුරුව ඔවුන් ද උත්සාහක දිනුම් දෙකක් සමඟින් තරගය පිවිසුනත්, එක් මඟ හැරුණු ප්‍රවර්තනයකින් ලකුණු දෙකක ජයක් යුද හමුදා කණ්ඩායමට හිමි වුනා.

ගුවන් හමුදා – B 07 පොලිස් – Griffins 05
යුද හමුදා Colts 12 හැව්ලොක් 25
නාවික හමුදා – B 17 යුද හමුදා – A 19

 

පළඟ අවසන් මහා තරගය

CH & FC හා නාවික හමුදා ‘A’ කණ්ඩායම් පලඟ කුසලානය සඳහා තරග වැදුණා.

සචින්ක අබේසේකරගේ උත්සාහක දිනුමක් සමඟින් නාවික හමුදා ‘A’ තරගයට හොඳ ආරම්භයක් ලබා ගත්තා. තිළිණ වීරසිංහ එම උත්සාහක දිනුමේ වටිනාකම තවත් වැඩි කළේ අපහසු ස්ථානයක සිට අමතර ලකුණු එකතු කරමිනුයි.

අවිශ්ක ලී හා වොරන් වීරකෝන් CH&FC වෙනුවෙන් උත්සාහක දිනුම් රැස් කළ අතර පළමු අර්ධය අවසන් වන විට තරගයේ ඉදිරියෙන් සිටියේ CH&FC කණ්ඩායමයි.

අමිත් මධුශංක හා තිලිණ වීරසිංහ දෙවැනි අර්ධය ආරම්භ කිරීමත් සමඟම උත්සාහක දිනුම් රැස් කළේ නාවික හමුදා කණ්ඩායම පෙරමුණට රැගෙන එමිනුයි.

කෙසේ වෙතත් නාවික හමුදා බලාපොරොත්තු බිඳ දැමූ රශෙන් ගුණවර්ධන හා Samuel Ogbeob CH&FC වෙනුවෙන් ලකුණු රැස් කළේ තරගයේ ජය CH&FC වෙත ගෙන එමිනුයි.

කුසලාන අවසන් මහා තරගය

ගුවන් හමුදා කණ්ඩායම තරගයේ පෙරමුණ ගත්තේ පොලිස් කණ්ඩායම පසුපසට ඇද දමමිනුයි. ඉෂාර මදුශාන් හට කහ කාඩ්පතක් ලබා දෙන්නට විනිසුරු කටයුතු කළේ සචිත් සිල්වා හට කළ නීති විරෝධී බාධා කිරීමක් නිසාවෙන්.

එක් ක්‍රීඩකයෙක් නොමැතිව වුනත් ගුවන් හමුදාව ලකුණු රැස් කළේ රමිත ද සිල්වාගේ උත්සාහයෙන්. සචික ප්‍රනාන්දු තවත් උත්සාහක දිනුමක් සමඟින් ගුවන් හමුදා ලකුණු සටහන දෙගුණ කළා.

පළමු අර්ධය: ගුවන් හමුදා ‘A’ 14 (2T, 2C) – 00 පොලිස් ‘A’

නුවන් පෙරේරා ගුවන් හමුදාව වෙනුවෙන් දෙවැනි අර්ධය ආරම්භයේ දී තවත් උත්සාහක දිනුමක් රැස් කළේ ගුවන් හමුදාව කුසලානයට තවත් පියවරක් ලං කරමින්.

නුවන්ගේ උත්සාහක දිනුමක සුළු මොහොතකට පෙර කසුන් සුරංග හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු තීරණය කළේ පොලිස් කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමිනුයි.

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ‘A’ 23 (3T, 3C, 1P) – 00 පොලිස් ‘A’

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<