ලෝක ශූරයා අත්අඩංගුවට

330
Elton Jantjies arrested

ලෝක ශූර දකුණු අප්‍රිකානු රග්බි ෆ්ලයි හාෆ් ක්‍රීඩක එල්ටන් යැන්චීස් (Elton Jantjies) පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඩුබායි හි සිට ගුවන් යානයකින් පැමිණෙන අතර එහි දේපලවලට හානි සිදු කිරීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හිදී යි.

ටැම්බෝ ජාත්‍යන්තර ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත් ඔහුව රෑන්ඩ් 1000ක ඇපයක් මත මුදාහැර තිබෙනවා. එළඹෙන සඳුදා ඔහුව මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට ගෙන යාමට නියමිතයි. ගුවන් යානයේ තිබූ විදුලි බල්බයකට හානි කළේ යැයි ඔහුට චෝදනා එල්ල වනවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් තරග 41කට ක්‍රීඩා කොට ඇති යැන්චීස් 2019 ලෝක කුසලාන ශූරයන් වූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ සාමාජිකයෙක්. පසුගිය දා ඔහු ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟින් තුර්කියේ සංචාරයක නිරත වෙමින් සිටියා. එතැන් සිට ඩුබායි හරහා යැන්චීස් දකුණු අප්‍රිකාවට පැමිණ ඇත්තේ තනිවමයි.

දකුණු අප්‍රිකානු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්නල් ඇත්ලෙන්ඩා මාතේ BBC වෙත පවසා තිබුණේ, “ටැම්බෝ ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට පත්වූ යැන්චීස් රෑන්ඩ් 1000ක ඇපයක් මත මුදාහළ බව අපට තහවුරු කළ හැකියි”, යනුවෙන්.