Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය අදින් ඇරඹෙයි

Dialog පාසල් රග්බි ලීගය 2022

536

කොරෝනා වසංගතය හේතුවෙන් වසර දෙකක නිහැඬියාවකින් පසු, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් රග්බි තරගාවලිය වන ‘Dialog පාසල් රග්බි ලීගය’ 2022 ජුනි 23 වැනිදා (අද) ආරම්භ වීමට නියමිතයි.

මෙම තරග වාරයේ පළමු කාණ්ඩයේ ‘A’ කොටසේ තරග ආරම්භ කරමින් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය ජුනි 23 වැනිදා කොළඹ  හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2020 වසරේ දී Dialog පාසල් රග්බි ලීගය කොරෝනා වසංගතය හේතුවෙන් සති 3ක කාලයකට සීමා කිරීමට සිදු වූ අතර 2021 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පැනවූ මාර්ගෝපදේශවලට යටත්ව තරගාවලිය අවලංගු කිරීමට සිදු විය.

රග්බි ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටි Dialog පාසල් රග්බි ලීගයේ පළමු කාණ්ඩයේ ‘A’ කොට‍සේ තරගාවලිය වෙනුවෙන් පුමුඛතම කණ්ඩායම් 12ක් තරග 34ක දී මුණගැසෙන අතර, උසස් පෙළ විභාගය හේතුවෙන් මෙම තරග වාරය කෙටි කාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙයින් සති 8කට පසුව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් Dialog පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය වෙනත් ක්‍රීඩාංගණයක දී පවත්වනු ලබයි.

2022 Dialog පාසල් රග්බි ලීගයේ පළමු කාණ්ඩයේ ‘A’ කොටසේ තරගාවලියේ දී කොළඹ රාජකීය විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය තරග වදිති.

තවත් පාසල් 24ක් පළමු කාණ්ඩයේ ‘B’ සහ ‘C’ කොටස් යටතේ තරග වදින අතර තවත් පාසල් 40ක් Dialog පාසල් රග්බි ලීගයේ 2 වැනි සහ 3 වැනි කාණ්ඩයෙන් තරග වැදීමට සූදානමින් සිටිති.

2019 තරගාවලියේ දී ශූරයන් බවට පත්වෙමින් අවසන් තරග වාර 3 දී ශූරතාව රැක ගත් කොළඹ රාජකීය විද්‍යාලය සමඟ කොළඹ සාන්ත පීතර විද්‍යාලය, ගල්කිස්ස සාන්ත‍ තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර තරග වාරයේ ඉහළින් බලාපොරොත්තු රඳවා සිටින කණ්ඩායම් වේ.

“මෙරට පාසල් ක්‍රීඩා දින දසුනේ ඉහළම අවධානයක් යොමුවන ඉසව්වක් බවට පත්වන Dialog පාසල් රග්බි ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ 2022 තරග වාරය පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය ගත් තීරණය ගැන අපි බෙහෙවින්ම සතුටට පත්වෙනවා”, යි Dialog Axiata හි ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී – සන්නාම හා මාධ්‍යය  හර්ෂ සමරනායක මහතා පැවසීය.

“අපගේ මාතෘභූමියට කීර්තිය රැගෙන එන හෙට දවසේ ශූරයන් බිහි කිරීමේ පාසල් තරගාවලි Dialog හි ආචාර ධර්මයන්ට බෙහෙවින්ම සමීපයි. සාර්ථක තරගාවලියක් වෙන‍ුවෙන් මම සුබ පැතුම් එක් කරනවා”, යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති බී. ඒ අබේරත්න මහතා,

“වසර දෙකකට ආසන්න කාලයක විරාමයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ රග්බි ලෝලීන්ට මෙරට පාසල් රග්බි ක්‍රීඩාවේ විශිෂ්ටතම දස්කම් සජීවීව දැක ගන්නට අවස්ථාව උදා වී තිබෙනවා. අනපේක්ෂිත  කාලසීමාවක්  හමුවේ වුව ද, මෙම තරගාවලිය වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබා දෙන බවට වූ පොරොන්දුව මත පිහිටා තවදුරටත් පූර්ණ සහයෝගය ලබා දීම ගැන පාසල් රග්බි අනුග්‍රාහක Dialog Axiata සමාගමට මාගේ හදපිරි ස්තුතිය පිරිනමනවා. 2022 තරග වාරයේ සාර්ථකත්වය වෙනුවෙන් මම සෑම කණ්ඩායකටම සුබ පතනවා!”

මෙම තරගාවලිය දෙස උනන්දුවෙන් බලා සිටින පාසල් සිසුන්, ආදි සිසුන්, දෙමාපියන්, සහයෝගය දක්වන්නන්, සුබපතන්නන් සහ රග්බි ලෝලී ජනතාව වෙනුවෙන් ThePapare.com, ඔස්සේ තරගාවලිය සජීවීව විකාශය කිරීමට එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Dialog Axiata කටයුතු යොදා තිබේ.

Dialog Axiata ක්‍රිකට්, වොලිබෝල් හා දැල්පන්දු සහ ESprorts ජාතික කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව කනිෂ්ඨ වොලිබෝල්, ජාතික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය, පාසල් ලීග් රග්බි, පිළිමළුන් පිටුදැකීමේ (knockout) හා සත් සාමාජික රග්බි තරගාවලිය, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය හා ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟින්ම.

මාධ්‍ය නිවේදනයකි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<