Paris marathon තරගයට නව දිනයක්

110
Paris Marathon
Image Courtesy: Getty Images

කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසරේ දී නොපැවැත්වීමට තීරණය කළ සුප්‍රකට Paris marathon තරගයේ මීළඟ අදියර ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට එහි සංවිධායකයින් තීරණය කර ඇත.

ඒ අනුව Paris මැරතන් තරගය ලබන වසරේ (2021) ඔක්තෝබර් මස 17 වැනිදාත්, Paris අර්ධ මැරතන් තරගය එම වසරේම සැප්තැම්බර් මස 05 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම වසරේ Paris මැරතන් තරගය අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට තිබූ නමුත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් තරගාවලිය දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කළ අතර පසුව වසංගතය නිසාවෙන් පැනවූ සීමාවන් සැලකිල්ලට ගෙන තරගාවලිය අවලංගු කරන ලදි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා සහභාගී වීමට මුදල් ලබා දී සිය ස්ථානය තහවුරු කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය තරග ගාස්තුව නැවත ලබා ගැනීමට හෝ එම තහවුරු කර ගත් ස්ථානය එලෙසම තබා ගනිමින් මීළඟ මැරතන් තරගයට ඉදිරිපත් වීමට හැකි බව ද සංවිධායකයින් නිවේදනය කර තිබුණි.

1976 වසරේ සිට ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා වාර්ෂිකව රටවල් 140ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන අතර මුලු තරගය කිලෝමීටර් 42.2ක දුරකින් සමන්විත වේ.

මීට අමතරව පවතින වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් අවස්ථා කිහිපයක දී ම කල් දැමූ ලොව තෙවනුවට පැරණිතම මැරතන් තරගය ලෙස සැලකෙන අන්තර්ජාතික සාම මැරතන් තරගය ද අවලංගු කිරීමට එහි සංවිධායකයින් තීරණය කර තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<