තවත් තරගාවලියකට කොරෝනාවෙන් රතු එළි

106
Paris with Scott

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් බොහෝ ක්‍රීඩා තරගාවලි කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදු වූ අතර වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට පැරිස් මැරතන් තරගය ද කල් දැමීමට සංවිධායකයින් මීට පෙර තීරණය කර තිබුණි.

ඒ අනුව මෙම වසරේ අප්‍රේල් මස 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය දෙසැම්බර් මස 15 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කළ නමුත් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මෙවර තරගාවලිය නිල වශයෙන් අවලංගු කිරීමට තීරණය කළ බව තරගයේ සංවිධායකයින් දැනුම් දෙන ලදි.

මෙම තීරණය පිළිබඳව දැනුවත් කරමින් පැරිස් මැරතන් තරගයේ සංවිධායකයින් ප්‍රකාශ කර සිටියේ මෙවර තරගාවලිය අවලංගු නොකර පැවැත්වීමට තමන් හැකි පමණ උත්සහ දැරූ නමුත් ක්‍රීඩකයන් මුහුණපාන ගැටලු පිළිබඳව සිතා මෙවර තරගාවලිය අවලංගු කිරීමට තීරණය කළ බවයි.

“මෙම මැරතන් තරගය ඉලක්ක කරගනිමින් සිය පුහුණුවීම් කටයුතු කිරීමට කාලය කැප කෙරූ සියල්ලන්ටම මෙය බලාපොරොත්තු කඩවන පුවතක් වෙයි. නමුත් අප මේ වන විටත් කටයුතු සූදානම් කරමින් පවතිනවා ලබන වසරේ ඉතාම උද්යෝගිමත් තරගාවලියක් අලංකාර පැරීසියේ වීදි තුළ පැවැත්වීමට” යැයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් මලල ක්‍රීඩා පුවත්

1976 වසරේ සිට ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා වාර්ෂිකව රටවල් 140ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන අතර මුලු තරගය කිලෝමීටර් 42.2ක දුරකින් සමන්විත වේ.

මෙම වසංගත තත්වය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රමුඛ පෙළේ මැරතන් තරග රැසක් අවලංගු කිරීමට ඒවායේ සංවිධායකයින්ට සිදු වූ අතර මෙම වසරේ පැවැත්වීමට නියමිත ලන්ඩන් මැරතන් තරගය ද විශේෂ ක්‍රීඩක කාණ්ඩයකට පමණක් සීමා කර ඇති බව එහි සංවිධායකයින් පසුගිය දා දැනුම් දෙන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<