සනත් ජයසුන්දරට වසර 7ක තහනමක්

1165

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු දක්ෂතා විශ්ලේෂකයෙකු වූ සනත් ජයසුන්දර හට වසර 7ක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

සනත් ජයසුන්දර හට මෙම තහනම පනවා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකය කළ පරීක්ෂණයකින් අනතුරුවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් වන නිල මාධ්‍ය නිවේදනය අද (05) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිකුත් කර තිබුණා.

එහි දැක්වෙන ආකාරයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන පනතේ අඩංගු වගන්ති දෙකක් උල්ලංඝනය කිරීමට අදාළව සනත් ජයසුන්දර වෙත එල්ල වී තිබූ චෝදනා තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුට මෙලෙස වසර 7ක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සඳහා තහනමක් පනවා තිබෙනවා.

සනත් ජයසුන්දර මහතා වෙත මෙම චෝදනා එල්ල වූයේ පසුගිය 2019 වසරේ දීයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේ මැයි 11 වැනිදා ඔහුට තාවකාලික තහනමක් පනවනු ලැබුවා. ඒ අනුව මෙම තහනම එම දිනයේ සිට බලපැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තහවුරු කර තිබෙනවා.

සනත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් විශේෂ පරීක්ෂණයක් සිදු කර තිබූ අතර එයට ලිඛිත සහ වාචික පරීක්ෂණයක් ඇතුළත් වුනා. 

තවත් ක්‍රිකට් පුවත්: 

මෙම පරීක්ෂණයට අනුව ඒ මහතා විසින් උල්ලංඝනය කර ඇති වගන්ති දෙකක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සඳහන් කර තිබුණා.

  • 2.1.3 වගන්තිය – ජාත්‍යන්තර තරගයක් අතරතුර එහි ප්‍රතිඵලයට, එහි ක්‍රීඩාවට හෝ තරගය පැවැත්වීමට බලපෑම් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යම් අල්ලස් මුදලක් හෝ වෙනත් ත්‍යාගයක් ලබා දීමට යෝජනා කිරීම.
  • 2.4.7 වගන්තිය – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පනවා ඇති දූෂණ මර්ධන පනතට අදාළ පරීක්ෂණයක් සිදු කරන අවස්ථාව දී දූෂණ විරෝධී ඒකකය වෙත බලපෑම් කිරීම, එහි කටයුතු වෙත බාධා එල්ල කිරීම හෝ එහි කටයුතු ප්‍රමාද කිරීම.

ජයසුන්දර මහතා වෙත එල්ල වන චෝදනා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විධායක අධ්‍යක්ෂ Alex Marshall මහතා අදහස් දක්වා සිටියා.

“ජයසුන්දර මහතා තරගයක් අතරතුර ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීම සහ එම වැරැද්ද හිතාමතාම සැඟවීමට උත්සාහ කිරීම වගේම ඒ පිළිබඳව පසුතැවිල්ලක් නොදැක්වීම ඉතාමත් කණගාටුදායක දෙයක්. 

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල මෙවන් දේවල්වලට අපි කිසිම ඉඩක් දෙන්නේ නැහැ. මම සහ මගේ කණ්ඩායම ඒ පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්නවා සහ දැඩිව කටයුතු කරනවා. සනත් ජයසුන්දර වෙත මේ පනවන ලද දඬුවම මෙවන් ක්‍රියා සිදු කරන අයට සහ එවැනි දේ වලට අනුබල දෙන අයට ලබා දුන් පණිවිඩයක්.” 

පසුගිය 2018 වසරේ දී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලය තුල මෙම සිදුවීම වාර්තා වී තිබුණා. හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකය වෙත පැමිණිලි කර තිබුණා. ඒ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දීයි.

සනත් ජයසුන්දර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් දීර්ඝ කාලයක් කටයුතු කර ඇති අතර ඔහු මෙරට 19න් පහළ කණ්ඩායම මෙන්ම ජාතික කණ්ඩායම සමඟින් ද දක්ෂතා විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මාධ්‍ය නිවේදනය ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<