1500m ලෝක ශූරයාට ඔලිම්පික් අහිමි වෙයි

139
Elijah Manangoi
@AFP

කෙන්යාව නියෝජනය කරමින් මීටර් 1500 තරගවල දී ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ මලල ක්‍රීඩක Elijah Manangoi හට වසර දෙකක තරග තහනමක් පැනවීමට Athletics Integrity Unit (AIU) තීරණය කරන ලදි.

පසුගිය වසරේ (2019) ජූලි සිට දෙසැම්බර් දක්වා කාලසීමාව තුළ දී තහනම් උත්තේජක පරීක්ෂණ ත්‍රිත්වයක් මගහැරීම නිසාවෙන් ඔහුට මෙම තහනම පැනවීමට තීරණය කර ඇති අතර පසුගිය ජූලි මාසයේ සිට Manangoi හට තාවකාලික තහනමක් පැනවීමට ද කටයුතු කර තිබුණි.

කෙසේ නමුත් මෙය තමාගේ වරදින් සිදු වූ දෙයක් නිසාවෙන් Athletics Integrity Unit (AIU) මගින් ලබා දුන් තීරණය තමන් පිළිගන්නා බව සිය තහනම පිළිබඳව අදහස් දක්වමින් Manangoi ප්‍රකාශ කර තිබුණි.

“මට AIU විසින් ලබා දුන් තීරණය ලැබුණා, මම තේරුම් ගත්තා මගේ අතින් මා සිටින තැන තොරතුරු සැපයීමේ දී වරදක් සිදු වුනා කියලා, ඒ නිසා මම මේ දඬුවම භාරගන්නවා. ඇත්තෙන්ම මට මේ ගැන මටම සමාව දෙන්න බැහැ.

එය ලැජ්ජාවක්, නමුත් මම කිසිදු තහනම් ද්‍රව්‍යයක් භාවිතා නොකරපු පිරිසිදු මලල ක්‍රීඩකයෙක්, තහනමින් පසු මම නැවතත් ධාවන පථයට ඇවිත් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

තවද ඔහුගේ තහනම කිසිදු හේතුවක් මත වසර දෙකකට අඩු නොකළ යුතු බව ද Athletics Integrity Unit විසින් තීරණය කර ඇති නිසාවෙන් ඔහුට ලබන වසරේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලෙ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වනු ඇත.

මේ වන විට 27 වියේ පසුවන Elijah Manangoi 2017 වසරේ දී මීටර් 1500 ඉසව්වේ ලෝක ශූරයා වීමට සමත් වූ නමුත් ආබාධයක් නිසාවෙන් 2019 ලෝක ශූරතාවය සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමි විය.

මෙම තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරීම නිසාවෙන් බොහෝ ක්‍රීඩකයන් හට තරග තහනම් නිකුත් වූ අතර වත්මන් ලොව වේගවත්ම මිනිසා ලෙස හැඳින්වූ ඇමරිකානු ක්‍රීඩක Christian Coleman හට ද වසර දෙකක තරග තහනමක් පැනවීමට Athletics Integrity ඒකකය පසුගිය දා කටයුතු කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<