යාපනයට ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

160

ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගෙන යෑම වෙනුවෙන් මෙතෙක් කලක් යාපනය ප්‍රදේශයේ මහත් අඩුපාඩුවක්ව පැවති ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය මල්ඵල ගන්වමින් යාපනයේ මල්ලාකම්හි ඉදිකර තිබෙන ‘මල්ලාකම් ශ්‍රී බාස්කරන් ක්‍රිකට් ක්‍රීඩාංගණය’ ක්‍රීඩක අයිතියට පැවරීම ඉකුත් ඉරිදා (14) දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කරගෙන යනු ලබන ‘ක්‍රිකට් ගමට’ වැඩපිළිවෙළ යටතේ මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබීය. මෙම ක්‍රීඩාංගණ විවෘත කිරීමට සමගාමීව යාපනයේ ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතුව සිටින කාන්තා සහ පිරිමි ක්‍රීඩා සමාජවල ක්‍රිකට් උපකරණ කට්ටල තොගයක් ද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

යාපනය ප්‍රදේශයේ විසූ ප්‍රකට දානපතියකු මෙන්ම සමාජ සේවකයකු වන නැසී ගිය ශ්‍රී බාස්කරන් මහතාට අයත් භූමිභායක ඉදිකර තිබෙන මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් යාපනය දිස්ත්‍රික්කයේ ලේකම් කනවතී පිල්ලෙයි මහසෙන් මහතා සහභාගි විය.

තවත් ක්‍රිකට් පුවත්:

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යාපෘති සංවර්ධන අංශයේ ප්‍රධානී කමල් ධර්මසිරි, යාපනය ප්‍රාදේශීය ලේකම් එස්. සිවාසිරි, 51 වැනි සේනාංක සේනාධිංකාධිපති මේජර් ජනරාල් කේ. පී. එස්. ප්‍රේමලාල්, බ්‍රිගේඩියර් ඒ. එස්. එම්. ෆාරිස්, යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති අමලදාස් සෙරේනස් නිශාන්තන් සහ එම සංගමයේ ලේකම් කාසිනාදන් සසිකරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහභාගි වූහ. ඊට අමතරව ශ්‍රී බාස්කරන් පදනම වෙනුවෙන් ඒ මහතාගේ භාර්යාව වන ශ්‍රී බාස්කරන් මැතිණිය ද සහභාගි වී සිටියාය.

අදියර කීපයක් යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන මෙම ක්‍රීඩාංගණයේ මූලික අදියර යටතේ මැටි තණතීරුවට අමතරව පැති පුහුණු තණතීරු 2ක්, කාර්යාල පරිශ්‍රයක් සහ ක්‍රීඩාගාරයක් විවෘත කරනු ලැබීය. මෙහි දෙවැනි අදියර වශයෙන් තණතීරු එළිම සිදු කෙරෙන අතර එහි දී ක්‍රීඩාංගණයේ කාණු පද්ධතිය, කායවර්ධන මධ්‍යස්ථානයක්, ලකුණු පුවරුවක්, දර්ශන තිර, ක්‍රීඩක විවේකාගාරය, ප්‍රේක්ෂකාගාර මෙන්ම ගෘහස්ථ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම් සිදුකිරීම මෙන්ම නඩත්තු උපකරණ ලබා දීමට නියමිතය.

මල්ලාකම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පාලන කටයුතු සියල්ල යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සිදු කරනු ලබන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ 26ක් සහ පාසල් 16කට මෙම ක්‍රීඩාංගණය භාවිත කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<