කොදෙව් තරගාවලිය අසාර්ථක වීම ගැන මහේලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය

2384

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කොදෙව් සංචාරයක් සඳහා එක්ව සිටිනවා. එහි එක්දින තරගාවලිය පසුගිය දා අවසන් වූනා. එම තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට කොදෙව් කණ්ඩායම සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය අසාර්ථක වීම පිළිබඳව හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන අදහස් දක්වා සිටියා.

ඔහු පවසා සිටියේ කොදෙව් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් පිතිකරණයේ දී සාර්ථක වීම තරගාවලිය ජයග්‍රහණය කිරීමට හේතු වූ බවයි.

මෙම තරගාවලියේ තරග තුනේ දී ම කොදෙව් ක්‍රීඩකයෙක් ශතකයක් වාර්තා කිරීම කැපීපෙනුණා.

පළමු තරගයේ දී ආරම්භ පිතිකරු Shai Hope ශතකයක් වාර්තා කළ අතර දෙවන තරගයේ දී Ewin Levis ශතකයක් වාර්තා කළා. තුන්වැනි තරගයේ දී Darren Bravo ශතකයක් වාර්තා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කිසිදු ක්‍රීඩකයෙකු ශතකයක් වාර්තා කිරීමට සමත් වුනේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 96ක් වාර්තා කිරීමට සමත් වුනා.

තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් මහේල ජයවර්ධන පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය තරග සැලැස්ම නිවැරදි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඊට අමතරව නවක ක්‍රීඩකයන් කණ්ඩායමට එක්කිරීමට තේරීම් කමිටුව ගත් තීරණය පිළිබඳව මහේල ජයවර්ධන සතුට පලකර තිබුණා.

මම කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරනවා. කණ්ඩායම් දෙකේ වෙනස වුනේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් ශතක වාර්තා කිරීම. ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ තරග සැලැස්ම නිවැරදිව ක්‍රියාත්මක කල යුතුයි. නවක ක්‍රීඩකයන් ඇතුළත් කිරීම ඉතාම හොඳ තීරණයක්. ක්‍රීඩකයන් ගොඩක් මහන්සි වෙන්න ඕනේ”, මහේල ජයවර්ධන Twitter පණිවිඩය පලකරමින් පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා කොදෙව් එක්දින තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ලෝක කුසලාන තරගාවලියේ Super League තරගාවලියට අදාළ තරගාවලියක් ලෙස පැවති අතර කොදෙව් කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟින් ඔවුන්ට ලකුණු 30ක් හිමි වුනා.

කොදෙව් කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසය තුල දෙවතාවක් ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා. Super League තරගාවලියට අදාළව කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කළ දෙවන තරගාවලිය මෙයයි. පළමු තරගාවලිය සඳහා ඔවුන් බංග්ලාදේශය සමඟින් ක්‍රීඩා කළ අතර එහි තරග 3 ම ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය සමත් වුනා. කෙසේ වෙතත් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟින් කොදෙව් කණ්ඩායම ලකුණු 30ක් ලබා ගනිමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වීමට සමත් වුනා.

එංගලන්තය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ද ලකුණු 30 බැගින් ලබාගෙන සිටිනවා. කොදෙව් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු Super League තරගාවලියයි.

ලෝක එක්දින තරග රටාවට Super League තරගාවලිය හඳුන්වා දුන්නේ පසුගිය වසරේ දීයි. එහි දී සෑම කණ්ඩායමක්ම තම රටේ දී තරගාවලි 4ක් සහ වෙනත් රටක දී තරගාවලි 4ක් ක්‍රීඩා කළ යුතු වනවා. එම තරගාවලි තරග 3කින් සමන්විත විය යුතුයි.

2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ එම තරගාවලි අවසන් වීමෙන් පසු ලකුණු සටහනේ මුල් ස්ථාන 7 ලබා ගන්නා කණ්ඩායම් වනවා.

මේ වන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 40ක් ලබාගෙන ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

සෑම කණ්ඩායමකටම ජයග්‍රහණය කරන තරගයක් සඳහා ලකුණු 10ක් හිමිවන අතර අත්හැර දමන/ සමවන හෝ ප්‍රතිඵලයක් නොලැබෙන තරගයක් සඳහා ලකුණු 5ක් හිමිවනවා. මේ අතර නියමිත කාලයට අදාළ පන්දුවාර ක්‍රියාත්මක නොකිරීමට ලකුණු අඩුකිරීමටත් නියමිතයි.

Times of India ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<