ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව් සභාපතිගෙන් වැඩි දස්කම්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

1509
Sri Lanka vs West Indies Board XI

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන එකම දෙදින පුහුණු තරගය ඊයේ (17) රාත්‍රියේ දී ආරම්භ වුනා. 

ශ්‍රී ලංකාව සහ කොදෙව් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන මේ පුහුණු තරගයේ පළමු දිනය අවසන් වන විට වැඩි ගෞරවය දිනා සිටියේ කොදෙව් සභාපතිගේ කණ්ඩායමයි.

Antigua හි Coolidge ක්‍රිකට් පිටියේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් සභාපතිගේ කණ්ඩායමේ නායක Roston Chase පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න හට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර ඔවුන් දෙදෙනාව පිළිවෙළින් ලකුණු 2කට සහ ලකුණු 4කට දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන Kemar Roach සමත් වුනා.

ලකුණු 51කට කඩුලු 4ක් දැවී තිබූ මොහොතේ දී ඕෂද ප්‍රනාන්දු සමඟින් පිටියේ එක්වූ දිනේෂ් චන්දිමාල් 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 53ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා පළමු ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාවය වාර්තා කළා. එම සබඳතාවය අභිබවා යාමට හැකි තවත් එකඳු සබඳතාවයක් හෝ ගොඩනැංවීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අසමත් වුනු අතර කොදෙව් සභාපතිගේ කණ්ඩායමේ පන්දු යැවීම සහ පන්දු රැකීම ඉහළම මට්ටමක තිබුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් දකුණතින් පිතිකරණයේ නිරත වන ඕෂද ප්‍රනාන්දු පන්දු 90ක් සඳහා මුහුණ දෙමින් ලකුණු 47ක් ලබා ගත්තා. ඔහුගේ එම ලකුණු ප්‍රමාණය සඳහා යම් සවියක් වුනු චන්දිමාල් එම ලකුණු 40 ලබා ගත්තේ පන්දු 76ක් සඳහා මුහුණ දෙමින්.

ඊට අමතරව පැතුම් නිස්සංක ලකුණු 23ක් ලබා ගත් අතර දසුන් ශානක සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 13 බැගින් ලබා ගත් අතර දික්වැල්ල එම ලකුණු 13 ලබා ගත්තේ නොදැවී කඩුල්ලේ රැඳී සිටිමිනි.

මෙය පුහුණු තරගයක් නිසාවෙන් ශ්‍රී ලංකාව වැඩිපුර පිතිකරුවන් දෙදෙනෙක් ක්‍රීඩා කර වූ නමුත් ශ්‍රී ලංකා ලකුණු සටහන යම් සාර්ථක ලකුණක් වෙත ඔසවා ගැනීමට දියත් කළ එම උපක්‍රමය ද සාර්ථක වුනේ නැහැ.

අවසානයේ දී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 172ක් පමණයි. පන්දු යැවීමේ දී නායක Chase ලකුණු 12කට කඩුලු 4ක් දවා ගන්නා විට, Anderson Phillip කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

කොදෙව් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 6ක් ලබාගෙන සිටි Shayne Moseley ඉතාමත් ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සමත් වුවත්, දෙවන කඩුල්ල සඳහා පිටියේ එක්වූ Shai Hope (ලකුණු 60*) සහ Darren Bravo (ලකුණු 30*) නොදැවුණු ලකුණු 94*ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පීඩනයකට පත් කර තිබෙනවා.

තරගයේ පළමු දිනය අවසන් වන විට කොදෙව් සභාපතිගේ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 103ක් ලබාගෙන සිටින්නේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 69ක් පසුපසිටින් සිටිමිනි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම – 172 (49.3): ඕෂද ප්‍රනාන්දු 47, දිනේෂ් චන්දිමාල් 40, පැතුම් නිස්සංක 23, Roston Chase 4/12, Anderson Phillip 3/47.

කොදෙව් සභාපතිගේ පිල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 103/1 (26): Shai Hope 60*, Darren Bravo 30*, සුරංග ලක්මාල් 1/08.

දෙරට අතර පැවැත්වෙන මේ පුහුණු තරගයේ දෙවන සහ අවසන් දිනය ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) රාත්‍රි 7.30ට ආරම්භ වෙනවා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<