නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!

ACC Men’s Premier Cup 2024

101
ACC Men’s Premier Cup 2024

නේපාල ක්‍රිකට් ක්‍රීඩක Dipendra Singh Airee විසින් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක පන්දුවාරයක පන්දු හයටම හයේ පහර හයක් එල්ල කළ ලොව තෙවැනි පිතිකරු බවට පත් වීමට අද (13) සමත් වුනා.

2024 ACC Men’s Premier කුසලාන තරගාවලියේ නේපාලය සහ කටාර් දේශය අතර අද පැවැත්වුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නේපාල ඉනිමේ 19 වැනි පන්දුවාරය වන විට නේපාලය කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා සිටි අතර, Dipendra Singh Airee පන්දු 15කින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මේ මොහොතේ Kamran Khan විසින් දියත් කළ නේපාල ඉනිමේ අවසන් පන්දුවාරයට Dipendra Singh විසින් හයේ පහර හයක් එල්ල කරමින් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව ඔහු පන්දු 21කින් ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුනා.

මීට පෙර ඉන්දියාවේ Yuvraj Singh 2007 වසරේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Kieron Pollard 2021 වසරේ දී මෙම දක්ෂතාව දැක්වීමට සමත් වූ අතර, Dipendra Singh එම ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වීමට සමත් වුනා.

එමෙන්ම මීට පෙර ද විස්සයි විස්ස තරගයක දී Dipendra Singh විසින් ඔහු මුහුණ දුන් පන්දු 6කට හයේ පහර හයක් එල්ල කිරීමට සමත් වූ නමුත්* පන්දුවාර දෙකක දී සිදු වූ නිසා මෙම විශේෂ වාර්තාව අතරට මෙය එක් වුනේ නැහැ.

*. 2023 වසරේ දී මොන්ගෝලියාවට එරෙහිව පැවැත්වුණු තරගයක දී Dipendra Singh විසින් මෙම දක්ෂතාව ප්‍රදර්ශනය කළ අතර, එහි දී ඔහු විසින් පන්දු 9කින් සිය අර්ධ ශතකය වාර්තා කරමින් විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්  අර්ධ ශතකය ද වාර්තා කිරීමට සමත් වුනා.

Dipendra Singhගේ මෙම හයේ පහර හය නිසා නේපාලයෙන් කටාර් දේශයට ලකුණු 211ක ඉලක්කයක් හිමි වූ අතර, ඒ වෙනුවෙන් පිළිතුරු ලෙස කටාර් කණ්ඩායම ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 178ක් පමණයි.

මේ අනුව නේපාලය මෙම තරගයෙන් ලකුණු 32ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ අතර, පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක් වූ Dipendra Singh Airee විසින් කටාර් ඉනිමේ කඩුලු 2ක් ද බිඳ හෙළීමට සමත් වුනා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<