CR&FC තියුණු ජයක් ලබද්දී, Havelocks මහනුවරට සමීප වෙයි

Nippon අන්තර් සමාජ රග්බි ලීගය 2022/23

364
Nippon Club Rugby 2022/23

දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන Nippon අන්තර් සමාජ රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තරග පසුගිය දා නිමාවට පත් වුනා.

Navy SC v Army SC

යුද හමුදා ක්‍රීඩකයින් අමතර ප්‍රසාද ලකුණක් සමඟ පරාජය කරමින් දැවැන්ත ජයක් ලබා ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

ඉහළ ලකුණු සහිත තරගයක් වූ මෙම තරගය ජය ගැනීම ප්‍රසාද ලකුණු සටහනේ මුල් හතරේ රැඳී සිටීම සඳහා නාවික හමුදා ක්‍රීඩකයින්ට වැදගත් වූ අතර අමතර ප්‍රසාද ලකුණක් සමඟ තරගය ජය ගැනීම නිසා ඔවුන්ට සිය බලාපොරොත්තු රඳවා ගැනීමට හැකි වුනා.

නාවික හමුදාව වෙනුවෙන් හර්ෂ මධුරංග උත්සාහක දිනුම් තුනක්, තනුජ මාලිම්බඩ උත්සාහක දිනුම් දෙකක් සහ ළහිරු හේරත් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, අශේන් බණ්ඩාර සහ සුදාරක දික්කුඹුර යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළා.

අවසන් ලකුණු තත්වය: Navy SC 41- 30 Army SC

Havelocks SC v CH&FC

CH&FC ක්‍රීඩකයින් ප්‍රසාද ලකුණු 31-17ක් ලෙස පරාජය කරමින් මහනුවර කණ්ඩායම සමඟ පැවති ලකුණු පරතරය අඩු කර ගැනීමට Havelocks ක්‍රීඩකයින්ට හැකි වුනා.

කොළඹ තුරඟ තරග පිටියේ පැවති මෙම තරගයේ පළමු අර්ධය ලකුණු 7-7ක් ලෙස දෙපිලම සමව තබමින් අවසන් වුනේ ඉතා තියුණු සටනක් දෙපිලෙන්ම පෙන්නුම් කරමිනුයි.

දෙවැනි අර්ධය සිය පාලනයට ගත් Havelocks වෙනුවෙන් නිවන්ක ප්‍රසාද, ශෙහාන් ඩයස්, රන්දිත වර්ණපුර සහ රවීන් ප්‍රනාන්දු උත්සාහක දිනුම් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: Havelocks SC 31- 17 CH&FC

Kandy SC v Police SC

පොලිස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ජය ගැනීමට මහනුවර ක්‍රීඩකයින්ට හැකි වූවත් අමතර ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් පළමු අර්ධයේ දී තරින්ද රත්වත්ත, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ රසිත සිල්වා උත්සාහක දිනුම් රැස් කරමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආවා.

දෙවැනි අර්ධයේ දී පොලිස් කණ්ඩායමෙන් වත්මත් ශූරයින්ට අභියෝගයක් එල්ල වූවත් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කිරීමට තරින්ද රත්වත්තට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: Kandy SC 22 – 12 Police SC

CR&FC v Air Force SC

පස්වැනි සතියේ පැවති උණුසුම්ම තරගය වූ මෙම තරගයෙන් ගුවන් හමුදා ක්‍රීඩකයින් පරදවා ලකුණු 29-24ක තියුණු ජයක් ලබා ගැනීමට CR&FC ක්‍රීඩකයින්ට හැකි වුනා.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු අර්ධයේ උත්සාහක දිනුම් වාර්තා කිරීමට CR&FC ක්‍රීඩකයින් වන ගැමුණු චේතිය සහ ලසිඳු කරුණාතිලකට හැකි වූ අතර ගුවන් හමුදාව වෙනුවෙන් නුවන් පෙරේරා ප්‍රවර්තන උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් රැස් කළා.

දෙවැනි අර්ධයේ දී CR&FC වෙනුවෙන් තේනුක නානායක්කාර සහ Murshid Zubair උත්සාහක දිනුම් වාර්තා කරද්දී, ගුවන් හමුදාව වෙනුවෙන් ඩිලාන් ප්‍රනාන්දු සහ කවීෂ රුචිරන්ත උත්සාහක දිනුම් වාර්තා කරමින් සිය කණ්ඩායම නැවත තරගයට ගෙන ආවා.

නමුත් එම උත්සාහක දිනුම් වලින් අනතුරුව ඔවුන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට CR&FC ක්‍රීඩකයින්ගේ දස්කම් නිසා නොලැබූ නිසා තරගයේ ජය CR&FC කණ්ඩායමට හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: CR&FC 29 -24 Air Force SC

තරගාවලියේ හයවැනි සතිය වන මෙම සති අන්තයේ තවත් තරග කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

ජනවාරි 21

  • CH&FC v Kandy SC at Racecourse Grounds
  • Havelock SC v Police SC at Havelock Park

ජනවාරි 22

  • CR&FC v Navy SC at Longdon Place
  • Army SC v Navy at TBC

තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟu.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<