විශ්මි සහ කවීෂා විශ්මිත මෙහෙයුමක!

Sri Lanka Women's Tour of South Africa 2024

110
Sri lanka Women's Tour of South Africa 2024
BENONI, SOUTH AFRICA - MARCH 27: Inoshi Fernando of Sri Lanka celebrates the dismissal of Tazmin Brits of South Africa with her teammates during the 1st Women's T20I match between South Africa and Sri Lanka at Willowmoore Park on March 27, 2024 in Benoni, South Africa. (Photo by Sydney Seshibedi/Gallo Images/Getty Images)

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (30) සමත් වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු නායිකාව සතු වූ අතර, ඇයගේ තීරණය අනුව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් තරගයේ පළමු ඉනිම ක්‍රියාත්මක කළා. මෙහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකාරිණිය වූ Anneke Boschගේ පිත්තෙන් ලකුණු 50ක් වාර්තා වූ අතර, Marizanne Kappගේ පිත්තෙන් ලකුණු 44ක් ඉනිමට එක් වුනා. මෙහි දී පෙර තරගයට වඩා ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් දකුණු අප්‍රිකාවට තියුණු තර්ජනයක් එල්ල වූ අතර, දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ම ලකුණු දහයේ සීමාවට පිවිසීමට පෙර දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අචිනි කුලසූරිය කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. ඒ අනුව දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 137කට  සීමා වුනා.

දකුණු අප්‍රිකාවෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා ශ්‍රී ලංකාවේ සුපුරුදු ආරම්භක පිතිකාරිණියන් යුගලය පිටියට පිවිසුණු නමුත්, අද දිනයේ දී ද චමරි අතපත්තුගේ පිත්ත නම් ක්‍රියාත්මක වුනේ නැහැ. කෙසේ වෙතත් චමරි සමඟ අනෙක් පසෙන් ඉනිම ආරම්භ කළ විශ්මි ගුණරත්න හර්ශිතා සමරවික්‍රම සහ හසිනි පෙරේරා සමඟ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 62ක් දක්වා ඉදිරියට රැගෙන ඒමට සමත් වුනා. ශ්‍රී ලංකා ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී හසිනිගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් තව තවත් ඉනිම වේගවත් කිරීම සිදු වූ අතර, මෙහි දී විශ්මි සමඟ කඩුල්ලේ එක් වූ කවීෂා දිල්හාරි දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන්ට දිගට හරහට පහර එල්ල කිරීමට පටන් ගත්තා.

මෙහි දී කවීෂාගේ පිත්තෙන් පන්දු 28ක් තුළ ලකුණු 45ක් ඉනිමට එක් වූ අතර, ඒ වෙනුවෙන් ඇය හතරේ පහර 6ක් එල්ල කිරීමට සමත් වුනා.

මේ අතර විශ්මි ගුණරත්න විසින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කිරීමේ ඉනිමක් දියත් කරමින් පන්දු 57කින් ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඇය හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකා පිතිකරිණියන් පන්දුවාර 18 පන්දු 5ක් තුළ නියමිත ඉලක්කය ඉතා පහසුවෙන් හඹා යාමට සමත් වූ අතර, පිත්තෙන් වේගවත් ලකුණු 45ක් සහ පන්දුවෙන් එක් කඩුල්ලක් ලබා ගත් කවීෂා තරගයේ වීරවරිය ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

  • දකුණු අප්‍රිකාව– 137/8 (20) Anneke Bosch 50, Marizanne Kapp 44, අචිනි කුලසූරිය 2/26, කවීෂා දිල්හාරි 1/22
  • ශ්‍රී ලංකාව– 138/3 (18.5) විශ්මි ගුණරත්න 65, කවීෂා දිල්හාරි 45, Chloe Tryon 1/14

මේ අනුව දැන්, දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමේ පවතිනවා.

තරගාවලියේ තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය එළඹෙන මාර්තු 03 වැනි දා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<