සධීරගේ සටන්කාමී ශතකයෙන් යාපනය දෙවැනි ජයග්‍රහණයට

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

198

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (14) පැවැත්වුනා.

එම තරගවලින් ගාල්ල සහ මහනුවර ක්‍රීඩකයින් පරදවා ජයග්‍රහණ ලබා ගැනීමට දඹුල්ල සහ යාපනය ක්‍රීඩකයින් සමත් වුනා.

ගාල්ල සහ දඹුල්ල

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ලකුණු 63ක ජයක් ලබා ගැනීමට දඹුල්ල ක්‍රීඩකයින් සමත් වුනා.

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කළ දඹුල්ල කණ්ඩායම පන්දුවාර 49.2ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 233ක් රැස් කළා.

දඹුල්ල කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 52කට සීමා කරමින් නායක මිනෝද් භානුක ලකුණු 30කට කවිෂ්ක අංජුල හමුවේ දැවී ගිය අතර පවන් රත්නායක ලකුණු 14යි.

ලසිත අබේරත්න ලකුණු 7කට මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී යන විට මැදපෙළ ශක්තිමත් කරමින් රනිත් ලියනාරච්චි පන්දු 93ක් තුළ ලකුණු 69ක් ලබා ගත්තේ හතරේ අටක් සමඟයි.

සිය කණ්ඩායමට අවශ්‍යතම මොහොතේ ක්‍රියාත්මක වූ වනිඳු හසරංග පන්දු 29ක් තුළ ලකුණු 43ක් ලබා ගනිමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් ඇතුළත් වුනා.

අගපෙළ පිතිකරුවෙකු ලෙස පැමිණ ලක්ෂාන් සඳකැන් ලබා ගත් ලකුණු 20 නිසා දඹුල්ල ක්‍රීඩකයින්ට තරමක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකි වුනා.

ලකුණු 234ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස ධනංජය ලක්ෂාන් ලකුණු නොලබා ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ අතර සොහාන් ද ලිවේරා ලකුණු 26ක් රැස් කළා.

ඉන්පසුව පිටියට පිවිසි ගාල්ල පිතිකරුවන් තිදෙනාට ලකුණු 10 සීමාව පසු කිරීමට දඹුල්ල පන්දු යවන්නන් හමුවේ නොහැකි වූ අතර සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 52ක් තුළ ලකුණු 38ක් ලබා ගත්තා.

අගපෙළ පිතිකරුවන් ලෙස කවිෂ්ක අංජුල ලකුණු 27ක්, විශාද් රන්දික ලකුණු 19ක් සහ සුමින්ද ලක්ෂාන් ලකුණු 17ක් රැස් කළත්, පන්දුවාර 35.5ක් අවසානයේ ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 171ක් පමණයි.

පන්දු යැවීමේ දී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර සහ අශාන් ප්‍රියංජන් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

මහනුවර සහ යාපනය

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් මහනුවර ක්‍රීඩකයින් පරදවා කඩුලු තුනක තියුණු ජයක් ලබා ගැනීමට යාපනය ක්‍රීඩකයින් සමත් වුනා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයින් ලකුණු 227කට සීමා කිරීමට යාපනය පන්දු යවන්නන්ට හැකි වුනා.

මහනුවර කණ්ඩායමේ ඉනිම ආරම්භ කළ ලසිත් කෲස්පුල්ලේ (31) සහ පැතුම් නිස්සංක (12) මුළු ලකුණු සංඛ්‍යාව 53ක් වන විට ක්‍රීඩාගාරයට හරවා යැවීමට යාපනය පන්දු යවන්නන්ට හැකි වුනා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට උත්සහ ගත් තනුක දාබරේ ලකුණු 24කට සහ සඳුන් වීරක්කොඩි ලකුණු 16කට දවා ගැනීමට යාපනය ක්‍රීඩකයින්ට හැකි වුනේ මහනුවර ලකුණු පුවරුව 102ක් වන විටයි.

මහනුවර ඉනිමට තරමක ජීවයක් එක් කළ නායක සහන් ආරච්චි ලකුණු 40කට දිලුම් සුදීර හමුවේ දැවී යද්දී, ලකුණු 36ක් ලබා සිටි ලහිරු උදාර දවා ගැනීමට නවෝද් පරණවිතානට හැකි වුනා.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් අහන් වික්‍රමසිංහ ලකුණු 23ක් සහ පුලින තරංග ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූ අතර වෙනත් කිසිදු පසුපෙළ පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී දිලුම් සුදීර ලකුණු 39කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන් සහ නවොද් පරණවිතාන අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි යාපනය කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 50ක් තුළ දවා ගැනීමට මහනුවර ක්‍රීඩකයින්ට හැකි වුනේ රොන් චන්ද්‍රගුප්ත (08) සහ නවෝද් පරණවිතාන (21) දවා ගෙනයි.

කසුන් අබේරත්න (12), ජනිත් ලියනගේ (11) සහ කමේෂ් නිර්මාල් (04) දවා ගැනීමට තනුක දාබරේට හැකි වුනේ යාපනය ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 85ක් බවට පත් කරමිනුයි.

යාපනය ක්‍රීඩකයින් තවත් අසීරු අඩියකට ඇද දමමින් ලහිරු මධුශංක ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වූවත්, හයවැනි කඩුල්ල සඳහා සධීර සමරවික්‍රම සමඟ එක්ව ලකුණු 63ක සම්බන්ධතාවක් පිහිටුවීමට රවිඳු ප්‍රනාන්දු සමත් වුනා.

රවිඳුගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ දිලුම් සුදීර පිත්තෙන් ද සිය යුතුකම ඉටු කරමින් සධීර සමඟ එක්ව ලකුණු 83ක නොබිඳුණු සම්බන්ධතාවක් පිහිටුවමින් කණ්ඩායම ජයග්‍රාහී සීමාවට රැගෙන ගියා.

අංක 04 පිතිකරු ලෙස පිටියට පිවිස අගනා ඉනිමක් ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වූ අතර දිලුම් සුදීර නොදැවී ලකුණු 31යි.

යාපනය කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ තනුක දාබරේ පන්දුවාර 10 තුළ ලකුණු 23ක් පමණක් ලබා දෙමින් කඩුලු තුනක් දවා ගත්තා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<