Natarajanට උපන් ගමෙන් උණුසුම් පිළිගැනීමක්

664

මට ගොඩක් සතුටුයි. ඒකට සීමාවක් නැහැ. මට ඒ හැඟීම් විස්තර කරන්න තේරෙන්නේ නැහැ.”

ඒ ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක T Natarajan සිය උපන් ගමට පැමිණීමෙන් පසු ඔහුට ලබා දුන් උණුසුම් පිළිගැනීම පිළිබඳව අදහස් දක්වමින් පැවසූ කතාවකි.

T Natarajan උපත ලබන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ චින්නප්පම්පට්ටි නම් ග්‍රාමයේයි. අතිශය දුෂ්කර පළාතක සිටින දරිද්‍රතාවයෙන් පෙළුණු පවුලකින් එන මේ කොළුගැටයා පසුගිය ඕස්ට්‍රේලියා තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට තරම් වාසනාවන්ත වුනා. ඒ එක් සංචාරයක් තුල තරග ආකෘති තුනෙන්ම ඉන්දීය ක්‍රිකට් වරම් දිනා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ඕස්ට්‍රේලියා සංචාරය නිමා කිරීමෙන් පසුව තම ගමට පැමිණි Natarajanට හිමි වුනේ උණුසුම් පිළිගැනීමක්. ඔහුව පිළිගන්න ගමේ පුද්ගලයන් පෙරහැරක් පවා සංවිධානය කරලා තිබුණා. ඔහුගේ අම්මා සහ තාත්තා ඔහුව පිළිගත්තට පස්සේ ඔහුව රැගෙන ගියේ අශ්ව රථයකින්. Natarajanට ලැබුණු මේ පිළිගැනීම මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍ය රැසක විශාල අවධානයක් දිනා ගන්න සමත් වුනා.

තමන්ට ලැබුණ මේ පිළිගැනීම ගැන Natarajan පසුගිය දා මාධ්‍ය හමුවේ පවසා සිටියා.

මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ පිළිගැනීමක් ලැබේවි කියලා. මගේ ගමේ අයට මම ස්තුතිවන්ත වෙනවා. මේක මගේ ජීවිතේ අමතක නොවන දෙයක්. මට හැමදාමත් ඕනේ වුනා ලොකු දෙයක් කරන්න. ගමට නගරයට ආඩම්බරයක් වෙන්න. මට ගොඩක් සතුටුයි. මට ඒ හැඟීම් කියන්න තේරෙන්නේ නැහැ.”

Natarajan ඉන්දීය සංචිතය සඳහා ඇතුළත් කරනු ලැබුවේ පුහුණු ක්‍රීඩකයෙකු ලෙසයි. කෙසේ වෙතත් සංචිතයේ දඟපන්දු යවන ක්‍රීඩක Varun Chakravarthy ආබාධයකට ලක්වීමත් එක්ක ඔහු විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කෙරුණා. ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ ආබාධ කීපයක් නිසා එක්දින සංචිතයටත් එක් වෙන්න ඔහුට පුළුවන් වුනා. ඉන්දීය ඕස්ට්‍රේලියා තුන්වැනි ටෙස්ට් තරගයේ දී ඉන්දීය එක්දින වරම් දිනා ගන්න Natarajan පළමු තරගයේ දී ම කඩුලු දෙකක් දවා ගන්න සමත් වුනා.

මට ඕනේ වුනේ මගේ වගකීම ඉෂ්ට කරන්න. මට අවස්ථාවක් ලැබුණා. මම හිතුවේ නැහැ මට එක්දින තරගයක් ක්‍රීඩා කරන්න ලැබේවි කියලා. ඒත් එක පාරම කළමනාකරු ඇවිල්ලා කිව්වා ඔයා අද සෙල්ලම් කරනවා කියලා. මට ඕනෙ වුනා මට ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. පළවෙනි කඩුල්ල ගත්ත එක මට හීනයක් වගේ.”

Natarajanගේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ Marnus Labuschagne ය. ඉන් අනතුරුව Canberra හි පැවති විස්සයි විස්ස තරගයේ දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට Natarajan සමත් වුනා. පළමු තරගයේ දී ම ලකුණු 30ට කඩුලු දෙකක් දවා ගන්න ඔහුට හැකි වුනා.

විස්සයි විස්ස තරගාවලියේ දී Natarajan කඩුලු 6ක් දවා ගත්තේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින්.

තවත් ක්‍රිකට් පුවත්:

විස්සයි විස්ස තරගාවලිය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කණ්ඩායමේ ඡායාරූපය ගන්න අවස්ථාවේ දී ඉන්දීය නායකයා වූ Virat Kohli විසින් තරගාවලියේ කුසලානය Natarajanගේ අතට ලබා දීම බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා.

ඉන්දීය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවත් නායක Ajinkya Rahane කුසලානය Natarajanට ලබා දීම කැපීපෙනුණා.

මම කවදාවත් ඒක බලාපොරොත්තු වුනේ නැහැ. මම හිතුවේ නැහැ Virat Kohli මගේ ළඟට ඇවිල්ලා කුසලානය මට දේවි කියලා. මම පැත්තකින් හිටියේ. මට ඒ වෙලාවේ ඇඬුණා. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ.”

Natarajan ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වසර හතරක් ක්‍රීඩා කර තිබෙනවා. 2017 වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 3කට Natarajan මිල දී ගන්න Kings XI Panjab කණ්ඩායම තීරණය කළා. ඉන් අනතුරුව 2019 වසරේ දී ඔහු Sunrises Hyderabad කණ්ඩායමට එක්වුනා.

මම වසර 4 ක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කළා. ඒ කාලෙදී මට පුළුවන් වුනා ඉන්දීය ක්‍රීඩකයන් එක්ක වගේම විදෙස් ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න. ඒකෙන් මට ලොකු අත්දැකීමක් ආවා.”

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා Natarajan ක්‍රීඩා කළ Sunrises Hyderabad කණ්ඩායමේ නායකත්වය හිමිවුනේ David Warner හටයි.

ඕස්ට්‍රේලියා තරගාවලිය අතරතුර David Warner සිය කණ්ඩායම් සහාය පිළිබඳව මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබුණා.

Natarajan ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින අතර ඔහුගේ පළමු දියණිය උපත ලැබුවා. කෙසේ වෙතත් ඔහුට නැවත ඉන්දියාවට පැමිණීමට පෙර ඕස්ට්‍රේලියාව වෙත යන්න සිදු වුනා.

ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා Natarajan විවේක ගැන්වීමට ඉන්දීය කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<