ඕස්ට්‍රේලියාවේ වර්ගවාදයේ තවත් පැත්තක් ගැන හෙළිවෙයි

351

නිමා වූ ඕස්ට්‍රේලියා ඉන්දීය ටෙස්ට් තරගාවලිය අතරතුර සිඩ්නි ක්‍රීඩාංගණයේ ආරක්ෂකයෙකු විසින් ඉන්දීය ප්‍රේක්ෂකයෙකු වාර්ගිකව සහ වර්ගවාදී ලෙස ඇමතූ බවට පසුගිය දා වාර්තා වුනා. 

එම ප්‍රවෘත්තියෙන් අනතුරුව ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin ඒ පිළිබඳව Twitter සටහනක් තබා ඇති අතර එහි දී ඔහු පවසා ඇත්තේ තමන් මෙම සිදුවීමට මුහුණ දුන් Krishna Kumar නම් ඉන්දීය ප්‍රේක්ෂකයා හමුවීමට බලාපොරොත්තු වෙන බවයි.

Krishna Kumar නම් ඉන්දීය ප්‍රේක්ෂකයා මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ ටෙස්ට් තරගාවලියේ තුන්වැනි තරගය වූ සිඩ්නි ටෙස්ට් තරගය අතරතුර දීයි. 

එහි දී ක්‍රීඩාංගණයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු තමාට “හිටපු දිහාටම යන්න” යනුවෙන් අපහාසාත්මක ලෙස ආමන්ත්‍රණය කළ බව පසුගිය දා පවසා තිබුණා. මෙම සිදුවීම ලැව් ගින්නක් සේ පැතිර ගියේ තරගාවලිය තුල සිදු වූ සෙසු සිදුවීම් ද ඒ හා සමාන වීම නිසාවෙනි.

කෙසේ වෙතත් තරගයේ පස්වැනි දිනයේ සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ඉන්දීය ප්‍රේක්ෂකයා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොලීසියට නිල වශයෙන් පැමිණිලි කර ඇති බව ඕස්ට්‍රේලියානු පුවත්පතක් වන The Sydney Morning Herald පුවත්පත වාර්තා කළා. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් Ravichandran Ashwin සිය නිල twitter ගිණුමේ සටහනක් තබා තිබූ අතර ඔහු එහි දී පවසා ඇත්තේ තමන් Krishna Kumar සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වන බවයි.

“මම කොහොමද ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ Krishna Kumar?” Ashwin විමසා තිබුණා.

කෙසේ වෙතත් අදාළ පැමිණිල්ලෙන් අනතුරුව ඒ පිළිබඳව නිල පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එයට සිඩ්නි ක්‍රීඩාංගණයේ කළමනාකාරිත්වය ද එක් වී තිබෙන බව වාර්තා වුනා.

තරගය අතරතුර ඔහු මුහුණ දුන් අත්දැකීම විස්තර කරමින් Krishna Kumar, ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන් ද තමන්ට සහ ඉන්දීය කණ්ඩායමට පහත් ලෙස කතා කළ බව පවසා තිබුණා. ඒ සිඩ්නි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ දීයි.

කෙසේ වෙතත් මෙම සිඩ්නි ටෙස්ට් තරගය අතරතුර ඉන්දීය වේගපන්දු යවන්නෙකු වන Mohammed Siraj හට අපහාසාත්මක සහ වර්ගවාදී ප්‍රකාශ සිදු කළ ප්‍රේක්ෂකයන් කීපදෙනෙකු ක්‍රීඩාංගණයෙන් ඉවත් කරන්න සිඩ්නි පොලිසිය කටයුතු කළා. ඒ Mohammed Siraj ඒ පිළිබඳව විනිසුරුවන්ට දැනුම් දීමෙන් අනතුරුවයි.

ඉන්දීය වේගපන්දු යවන්නන් වන Mohammed Siraj සහ Jasprit Bumrah මේ තරගයේ දී එවැනි අවාසනාවන්ත සිදුවීම් කීපයකට මුහුණ දුන්නා. ඒ පිළිබඳවත් සිඩ්නි පොලිසිය සහ ක්‍රිකට් බලධාරීන් පරීක්ෂණයක් පවත්වනවා.

වත් ක්‍රිකට් පුවත්:

තරගයේ සිව්වැනි දිනයේ දී මේ සිදුවීම් නිසා ප්‍රේක්ෂකයන් ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියාකිරීම නිසා අවසන් දිනයේ දී ප්‍රේක්ෂකයන් සහ ආරක්ෂක නිලධාරීන් තමාට වර්ගවාදී ප්‍රකාශ සිදු කරමින් ආමන්ත්‍රණය කළ බවයි Krishna Kumar පවසා සිටියේ. 

“මම paper roll එකක ලියලා අරන් ගියා ප්‍රකාශ කීපයක්. “එදිරිවාදිකම් හොඳයි ඒත් වර්ගවාදය හොඳ නැහැ”, “ජාතිවාදීන් වෙන්න එපා” “දුඹුරු හමක් තියන එක ප්‍රශ්නයක් නෙමෙයි.” වගේ දේවල් ඒකේ ලියලා තිබුණා.” 

“ඒ වෙලාවේ ඒක දැකපු ආරක්ෂක නිලධාරියෙක් මට තර්ජනය කළෘ. ඒ ගැන ප්‍රශ්නයක් තියනවා නම් ආව රටටම යන්න කියලා මට කිව්වා. ඒක ඉතාමත් පොඩි බැනර් එකක්. මම ළමයින්ගේ paper roll එකකින් ඒක හැදුවේ” Krishna Kumar පවසා සිටියා.

“ඊට පස්සේ මම ඒවා මගේ කාර් එකට දාන්න එළියට ගියා. මට ඇහුණා එතකොට එතන හිටිය ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් අනික් නිලධාරීන්ට යමක් කියනවා, “ඔහු නැවත ආවම ඔහුට මේක එපා කරවන්න” කියලා ඔහු කිව්වා. ” 

“ඔවුන්ගේ ජාතිවාදී පැත්ත ගැන මේකෙන් හොඳට වටහාගන්න පුළුවන්. මම නැවත ආවට පස්සේ ඔවුන් ඔවුන්ගේ නිලධාරීන්ගේ සැකැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් කළා. හතරේ සීමාව ළඟ ඉන්න ආරක්ෂක නිලධාරියා කෙළින්ම මගේ ඉස්සරහා තිබ්බා.” 

“මට කාගෙවත් සමාවක් ඕනේ නැහැ. නොමිලේ ටිකට් ඕනේ නැහැ. ඔවුන්ගේ සාමාජිකත්වය ඕනෙත් නැහැ. මට ඕනේ යුක්තිය. මම ගොඩක් ලැජ්ජාවට පත්වුනා. මම එතනට ගියේ වර්ගවාදයට එරෙහිව සටන් කරන්න. ඇයි මම වර්ගවාදයට එරෙහිව කතා කරන එක නවත්වන්නේ? ක්‍රීඩාංගණයේ සිදු වුන දේවල් අපි හැමෝම දැක්කා. මම කතා කළේ ඒකට විරුද්ධව” Krishna Kumar තවදුරටත් පවසා සිටියා.

මේ ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොලිසිය තහවුරු කර තිබුණා.

පසුගිය අඟහරුවාදා නිමා වූ ඉන්දීය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය හිමිවුනේ ඉන්දීය කණ්ඩායමටයි. ඒ අවසන් තරගය ජයග්‍රහණය කිරීමත් සමඟින්.

Times of India පුවත්පත ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<