නදීෂා ලේකම්ගේ මූලික වටයේ 22 වැනි ස්ථානයට

World Athletic Championship 2023

640
World Athletic Championship 2023

2023 ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියේ දෙවැනි ශ්‍රී ලංකා බලාපොරොත්තුව ලෙස කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මූලික වටයට සහභාගී වීම සඳහා නදීශා ලේකම්ගේ අද (23) සවස තරග බිමට පිවිසුණා.

කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණු මෙම ඉසව්වේ මූලික වටයේ A කාණ්ඩයෙන් තරග බිමට පිවිසුණු නදීශා ලෝක ශ්‍රේණිගත කිරීම්වල 36 වැනි ස්ථානයේ රැඳී සිටි අතර නිමා වුනු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මෙම තරග වාරය තුළ මෙන්ම සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ද දක්වමින් (මීටර් 60.63) ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඇය විසින් සමත් වුනා.

නමුත් ඇයට අද දිනයේ දී නම් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව අසලට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැහැ.

සිය පළමු ප්‍රයත්නය මගින් මීටර් 54.77ක දුරක් හෙල්ලය විසි කිරීමට සමත් වූ නදීශාගේ දෙවැනි ප්‍රයත්නය සටහන් වුනේ මීටර් 50.00ක් ලෙසයි. සිය තෙවැනි සහ අවසන් ප්‍රයත්නය තුලින් මීටර් 55.89ක් සටහන් කිරීමට සමත් වූ නදීශා මූලික වටයේ A කාණ්ඩයේ තරග වැදුණු තරගකාරිනියන් 18 දෙනෙකු අතරින් 14 වැනි ස්ථානයට පත් වුනා.

එමෙන්ම මූලික වටයේ A සහ B කාණ්ඩ දෙකට ම අදාළ සමස්ත ක්‍රීඩිකාවන් 36 දෙනෙකු අතරින් ඇයට හිමි වුනේ 22 වැනි ස්ථානයයි.

මූලික වටයෙන් අවසන් වටය වෙත සුදුසුකම් ලබා ගැනීම සඳහා මීටර් 61.50ක දුරක් තරණය කිරීමට අවශ්‍ය ව තිබූ අතර එම කඩ ඉම පසු කර යෑමට සමත් වුනේ ක්‍රීඩිකාවන් හත් දෙනෙකු පමණයි. මේ අනුව අවසන් වටයට සහභාගී වන ක්‍රීඩිකාවන් 12 දෙනා සම්පූර්ණ කිරීම සඳහා අදාළ සීමාව පසු නොකළ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු ද ඇතුළත් කර ගැනීමට සිදු වුනා.

මෙහි දී නදීශා සිය උපරිම දක්ෂතාවට සමීප වූවා නම් ඇයට ද අවසන් වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් ඉතිරි වී තිබූ බව සඳහන් කළ යුතුයි.

කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් මහා තරගය එළඹෙන සිකුරාදා (25) පැවැත්වීමට නියමිතයි.

මේ අතර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට අදාළ ව ඊයේ (22) පැවැත්වුණු පිරිමි උස පැනීමේ ඉසව්වෙන් වත්මන් සම ඔලිම්පික් ශූර ඉතාලියේ Gianmarco Tamberi විසින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ඊට අමතරව Laulauga Tausaga (කාන්තා කවපෙත්ත විසි කිරීම), Faith Kipyegon (කාන්තා මීටර් 1500) සහ Soufiane El Bakkali (පිරිමි මීටර් 3000 බාධක දිවීම) යන ක්‍රීඩක/ක්‍රීඩිකාවන් විසින් ද ඊයේ රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.

ශූරතාවලියේ තවත් අවසන් තරග කිහිපයක් ම (කාන්තා රිටි පැනීම, පිරිමි මීටර් 1500, පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීම සහ කාන්තා මීටර් 400) අද (23) පැවැත්වීමට නියමිතයි.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීළඟ ශ්‍රී ලංකා බලාපොරොත්තුව ලෙස පිරිමි මීටර් 400×4 කණ්ඩායම එළඹෙන සෙනසුරාදා (26) සිය මූලික වටයේ තරගය වෙනුවෙන් තරග බිමට පිවිසෙනු ඇති.

2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<