ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකිකයින්ගේ තරග වේලාවන්

World Athletic Championship 2023

508

ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියේ පළමු ශ්‍රී ලංකා සහභාගීත්වය ලෙස පිරිමි මීටර් 400 ඉසව්ව වෙනුවෙන් අරුණ දර්ශන අද (20) තරග බිමට පිවිසීමට නියමිතයි. 

ඊයේ (19) දිනයේ දී හංගේරියාවේ බුඩාපේස්ට් හිදි ආරම්භ වූ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ඉසව් තුනක් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිත අතර ඉන් පළමු තරගකරුවා අද දහවල් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා. 

පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික වටයේ පළමු තරගය (Heat 1) නියෝජනය කරමින් අරුණ දර්ශන අද පස්වරු 1.55* තරග බිමට පිවිසීමට නියමිත අතර තරගකරුවන් හත් දෙනෙකු තරග වැදීමට නියමිත මෙම තරග වටයේ දී අරුණ සිව්වැනි මංතීරුවේ ධාවනයේ යෙදෙනු ඇති. 

*. සියලු තරග වෙලාවන් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දක්වා ඇත. 

එමෙන්ම දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් හි 54 වැනි ස්ථානයේ සිටින අරුණ සමඟින් මෙම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 5 වැනි තැන රැඳී සිටින බහමාස් හි Steven Gardiner සහ ශ්‍රේණිගත කිරීම් හි 7 වැනි තැන රැඳෙන දකුණු අප්‍රිකාවේ Zakithi Nene ද තරග වැදීමට නියමිතයි. 

මීට අමතරව මෙම තරග වටයෙන් ඉදිරියට යාමට අරුණ හට අවස්ථාව ලැබුණහොත් ඔහුගේ මීළඟ තරගය (අවසන් පූර්ව තරගය) එළඹෙන 23 වැනිදා (අලුයම) පැවැත්වීමට නියමිතයි. එමෙන්ම පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් තරගය 25 වැනිදා (අලුයම) පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

නදීශා ලේකම්ගේ 

මීට අමතරව කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කරන නදීශා ලේකම්ගේ එළඹෙන 23 වැනිදා තරග බිමට පිවිසීමට නියමිතයි. 

කාන්තා හෙල්ල විසි කිරීමේ මූලික වටය කාණ්ඩ දෙකකින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහි දී ඇය A කාණ්ඩයෙන් තරග වදී නම් 23 වැනිදා පස්වරු 1.50ට හෝ B කාණ්ඩයෙන් තරග වදී නම් පස්වරු 3.25ට තරග බිමට පිවිසෙනු ඇති. 

එමෙන්ම කාන්තා හෙල්ල විසි කිරීමේ අවසන් තරග 25 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

පිරිමි 400×4 කණ්ඩායම 

පිරිමි මීටර් 400×4 සහය දිවීමේ ඉසව්වේ මූලික වටයේ තරග අගෝස්තු 26 වැනිදා රාත්‍රි 11ට ආරම්භ වීමට නියමිතයි. 

එමෙන්ම එහි අවසන් තරගය මෙවර මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් දිනය වන අගෝස්තු 27 වැනිදා (ශ්‍රී ලංකා වෙලාවෙන් අගෝස්තු 28 අලුයම) පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. 

මීට අමතරව ආබාධයක් නිසා මෙවර තරගාවලියට සහභාගී නොවූ යුපුන් අබේකෝන් සහභාගී වීමට නියමිතව තිබූ මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරග ඊයේ දිනයේ පැවැත්වුණා. තරග වට 7කින් සමන්විත වූ මෙම මූලික වටයෙන් හොඳම කාලය වාර්තා කිරීමට සමත් වුනේ ජැමෙයිකාවේ Oblique Seville (9.86) විසිනුයි. 

ඊට අමතරව එම ඉසව්වේ ඉහළින් ම රැඳෙන Noah Lyles, Akani Simbine, Ferdinand Omanyala, Christian Coleman, Fred Kerley වැනි ක්‍රීඩකයින් ද ඉතා පහසුවෙන් මූලික වටයෙන් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

එමෙන්ම පසුව තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළ ගයන්තිකා අබේරත්නගේ ඉසව්ව වන මීටර් 1500 ඉසව්වේ මූලික වටයේ තරග ද ඊයේ දිනයේ පැවැත්වුනා. 

එම ඉසව් දෙකේ ම අවසන් පූර්ව වටයේ තරග අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. 

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<