යුධ හමුදාව සහ Casualline තෙවැනි ස්ථාන දිනා ගනී

695

2018 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි අංශයේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාව සහ කාන්තා අංශයේ තෙවැනි ස්ථානය MAS Casualline යන කණ්ඩායම් දිනා ගැනීමට සමත් විය. යුධ හමුදාව තරග වට 3-0ක් ලෙසින් MAS Leisure Line කණ්ඩායම පරාජය කළ අතර MAS Casualline කාන්තා කණ්ඩායම වට 3-0ක් ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාව පරාජය කරන ලදි. තරග පැවැත්වුනේ මහරගම ජාතික තරුණ සේවා සංකීර්ණයේ දී ය.

තියුණු සටනකින් පසු වරායත්, විදුලිබලයත් අවසන් සංග්‍රාමයට

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ පිරිමි…

තෙවැනි ස්ථානය සඳහා වන තරගය – පිරිමි

පළමුවැනි වටයේ මුල සිටම යුධ හමුදා කණ්ඩායම පෙරමුණ ගන්නා ලදි. 7-1ක් ලෙසින් ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගත් යුධ හමුදාව එම සාර්ථක ආරම්භය අවසන් කරන ලද්දේ පළමුවැනි වටය 25-16ක් ලෙසින් ජයග්‍රහණය කරමිනි. තම කණ්ඩායම පන්දුව පිරිනැමූ අවස්ථාවල දී ලකුණු 10ක් යුධ හමුදාව ලබාගන්නා විට (Points won on serve/පන්දුව පිරිනැමූ විට එම ලකුණ පිරිනමන ලද කණ්ඩායම විසින් ලබා ගැනීම) MAS Leisure Line කණ්ඩායම ලබා ගනු ලැබුවේ එක ලකුණක් පමණි.

අද උදෑසන මෙම කණ්ඩායම් ද්විත්වයම අවසන් පූර්ව වටයේ තරගවලට (යුධ හමුදාව සහ වරාය අධිකාරිය, MAS Leisure Line සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය) ක්‍රීඩා කළ බැවින් දෙපිලෙහිම ක්‍රීඩකයන් ඉතා අපහසුවෙන් ක්‍රීඩා කරන බවක් පෙනී ගිය අතර එබැවින් තරගයේ වේගය ද අඩු බවක් දක්නට ලැබුණි.

දෙවැනි වටයේ දී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම 4-1ක් ලෙසින් පෙරමුණ ගනු ලැබූව ද, දෙපිලම කරට කර තරගයක නියැලෙනු දක්නට ලැබුණි. එක වරෙක තරගය 24-24ක් ලෙසින් සම තත්වයේ පසුවූවද එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ මහේෂ් චන්ද්‍රකුමාර ඇතුළු යුධ හමුදා ක්‍රීඩකයන් තමන්ගේ අත්දැකීම් ප්‍රදර්ශනය කරමින් 26-24ක් වශයෙන් දෙවැනි වටය ජය ගනු ලැබීය.

දෙවැනි වටයේ දී තම කණ්ඩායම විසින් පන්දුව පිරිනැමූ විට අවස්ථා 7 බැගින් දෙපිලම ලකුණු ලබා ගත් අතර පිරිනැමීමෙන් (ACE serve) දෙපිලම එක ලකුණ බැගින් හිමිකර ගැනීමට සමත් වූහ.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තෙවැනි වටයේ දී යුධ හමුදාව වෙත සැලකිය යුතු අභියෝගයක් එල්ල කිරීමට MAS Leisure Line කණ්ඩායමට නොහැකි විය. 4-5ක් ලෙසින් ප්‍රථමයෙන්ම තරගයේ පෙරමුණ Leisure Line කණ්ඩායම සතුවූව ද ක්‍රමයෙන් එම වටයේ පෙරමුණත්, පාලනයත් සියතට ගත් වසන්ත ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා යුධ හමුදා තෙවැනි වටය 25-19ක් ලෙසින් ජය ගනිමින් 2018 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි අංශයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

තෙවැනි වටයේ දී දෙපිලම පන්දුව පිරිනැමීමෙන් (ACE serve) එක බැගින් වාර්තා කළ අතර තම කණ්ඩායම පන්දුව පිරිනමන අවස්ථාවල දී ලකුණු 10ක් යුධ හමුදාව ද ලකුණු 5ක් MAS Leisure Line කණ්ඩායම ද හිමිකර ගැනීමට සමත් විය.

පළමුවැනි වරට මෙම තරගාවලියට සහභාගී වූ MAS Leisure Line කණ්ඩායම මෙම තරගාවලියේ දී පැමිණි දුර පිළිබඳව බොහෝ දෙනා පැසසුමෙන් යුතුව කතා කළහ.

තෙවැනි ස්ථානය සඳහා වන තරගය – කාන්තා

පළමු වටයේ දී ප්‍රථමයෙන්ම ඉතා විශාල ලකුණු පරතරයක් තබා ගැනීමට නාවික හමුදා කාන්තා කණ්ඩායමට හැකි විය. 06-17ක් ලෙසින් නාවික හමුදාව ඉදිරියෙන් සිටිය ද, ඉන්පසු තරගය ඇතනොහැරී Casualline ක්‍රීඩිකාවන් පිට පිට ලකුණු 9ක් ලබා ගනිමින් වටයේ ප්‍රතිඵලය 15-17ක් ලෙසින් ආසන්න තත්වයට ගෙන ඒමට සමත් වූහ.

Casualline ක්‍රීඩිකාවන් විසින් පිට පිට ලකුණු ලබා ගන්නා අවස්ථාවේ දී නාවික හමුදාව විසින් කෙටි විවේකයක් නොගැනීම, Casualline ක්‍රීඩිකාවන්ට තරගය වෙත නැවත ප්‍රවිෂ්ට වීමට මහඟු අවස්ථාවක් ද විය. ඉන්පසුවත් ඉදිරියෙන් සිටීමට නාවික හමුදා ක්‍රීඩිකාවන් සමත්වූවත් අවසානයේ දී 25-23ක් ලෙසින් පළමුවැනි වටය ජය ගනු ලැබුවේ MAS Casualline ක්‍රීඩිකාවන්ය.

යුධ, ගුවන් හමුදා සෙබලියන් අවසන් සටනට

2018 මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපිරි ලීගයේ කාන්තා අංශයේ අවසන් පූර්ව තරග අද (09) දී මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

පළමු වටය මෙන්ම ඉතා තියුණු දෙවැනි වටයක් දැකබලා ගන්නට හැකි විය. එසේවූවත් දෙවැනි වටයේ දී මුල් ලකුණු කිහිපයෙන් අනතුරුව වටය පුරාවටම ඉදිරියෙන් සිටීමට සමත් වූයේ Casualline ක්‍රීඩිකාවන්ය. අවසානයේ දී එම ඉදිරිය 25-22ක් ලෙසින් දෙවැනි වටය ජයග්‍රහණය කරන තෙක්ම පවත්වා ගැනීමට Casualline ක්‍රීඩිකාවන්ට හැකි විය.

දෙවැනි වටයේ දී පිරිනැමීමේ දී (ACE serve) ලකුණු 4ක් ලබා ගැනීමට Casualline ක්‍රීඩිකාවන් සමත් වන විට පිරිනැමීමෙන් නාවික හමුදා ක්‍රීඩිකාවන් ලබාගත්තේ එක ලකුණකි. තම කණ්ඩායම විසින් පන්දුව පිරිනමන අවස්ථාවල දී Casualline ක්‍රීඩිකාවන් විසින් ලකුණු 13ක් ලබා ගන්නා විට නාවික හමුදා ක්‍රීඩිකාවන් ලකුණු 10ක් ලබාගත්හ.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

මෙම කණ්ඩායම් දෙක ද අද දිනයේ දී අවසන් පූර්ව වටයේ තරගවලට සහභාගී වී සිටි නිසා ක්‍රීඩිකාවන්ගෙන් දිස්වූයේ ඉතා වෙහෙසකර බවකි. එහෙත් තවදුරටත් ඉතා තියුණු සටන්කාමීත්වයක් දෙපිලෙහිම ක්‍රීඩිකාවන් පෙන්නුම් කළ අතර එය අගය කළ යුතු කරුණකි.

ඉතාමත් තියුණු රැලි කිහිපයකින් අනතුරුව තෙවැනි වටයේ ජය ද MAS Casualline කණ්ඩායම සතු වූයේ 25-22ක් වශයෙනි. තෙවැනි වටයේ දී Casualline කණ්ඩායම විසින් පිට පිට ලකුණු 6ක් ලබාගත් අතර වටය මෙන්ම තරගය ද ජය ගැනීමට Casualline ක්‍රීඩිකාවන් හට ඉවහල් විය.

ඒ අනුව 2018 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට MAS Casualline කණ්ඩායමට හැකි විය.

මෙම තරගාවලියෙහි තරග සජීවීව ප්‍රේක්ෂකයන් වෙත ලබා දීමට ThePapare.com කටයුතු කළ අතර ඉදිරියටත් මෙවැනි වොලිබෝල් තරග ප්‍රේක්ෂක ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම් ය.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<