අරුණ, නදීෂා සහ ගයන්තිකාට ලෝක ශූරතා වරම්

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය 2023

1042

මෙම මාසයේ හංගේරියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, නදීෂා ලේකම්ගේ, ගයන්තිකා අබේරත්න සහ පිරිමි සහය දිවීමේ කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

මීටර් 400 ඉසව්ව නියෝජනය කරන අරුණ ලෝක ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානය හිමි කර ගනිමින් මෙම තරගාවලියට සුදුසුකම් ලබා තිබෙන අතර එය 2005 වසරින් පසුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව ද වෙනවා.

ගයන්තිකා අබේරත්න මීටර් 1500 ඉසව්වේ 56 වැනි ස්ථානයේ පසු වෙමින් සිය දෙවැනි ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා තිබෙන අතර ශ්‍රියානි කුලවංශ සහ සුසන්තිකා ජයසිංහට පසුව ලෝක ශූරතා දෙකකට සුදුසුකම් ලබන ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන්නේ ඇයයි.

කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කරමින් ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගත් නදීෂා ලේකම්ගේ ලෝක ශූරතාවයක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර නදීකා ලක්මාලිට පසුව හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ඇය වීම ද විශේෂත්වයක්.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිරිමි මීටර් 4×400 සහය දිවීමේ කණ්ඩායම ද සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙන අතර කණ්ඩායම් 16ක් අතරින් 12 වැනි කණ්ඩායම බවට පත් වෙමින් ඔවුන් ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබුවා.

ලෝක ශූරතාවය සඳහා මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් ද සුදුසුකම් ලබා තිබුනත්, ආබාධ තත්වයක් නිසාවෙන් ඔහු මෙම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළා.

ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෝක ශූරතාවයට සහභාගී වන අතර එය ඉතිහාසයේ සහභාගී වන දෙවැනි විශාලතම කණ්ඩායම වීම විශේෂත්වයක්.

දිනෙන් දින උණුසුම් වන මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<