ගුවන් ප්‍රහාරයෙන් යුධ හමුදාවට බරපතළ හානි

843

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ කාන්තා ආධිපත්‍යය තමා සතු බැව් යළිත් වරක් සනාථ කරමින් අද දින (18) පැවැත්වූ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් තරගාවලියේ කාන්තා අංශයේ අවසන් මහා තරගයෙන් ඉතා විශිෂ්ට ජයක් ලබාගෙන ශූරතාවය යළිත් වතාවක් තමා සතු කරගන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එහි දී ඔවුන් අතින් තරග වට 3-1 ලෙස පරාජයට පත් වෙමින් මෙවරත් අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට යුධ හමුදා ක්‍රීඩිකාවන්ට සිදු විය. අවසන් මහා තරගය මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

ලස්සනම කණ්ඩායම නොව දක්ෂතම කණ්ඩායම කවුරුන්ද?

කාන්තා ලාලිත්‍යය ක්‍රීඩාවට එක්වන සෑමවිටකම ක්‍රීඩාව උද්දීපනය වේ. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවටද එසේමය. මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන්..

අවසන් පූර්ව වටයේ තරගවල දී මෙම දෙපිලටම එතරම් අභියෝගයක් එල්ල කිරීමට ඔවුන්ගේ ප්‍රතිවාදීන් සමත් වූයේ නැත. එහි දී යුධ හමුදා කාන්තා කණ්ඩායම විසින් වරාය අධිකාරි කාන්තා කණ්ඩායම වට 3-0ක් ලෙසින් ද, ගුවන් හමුදා කාන්තා කණ්ඩායම විසින් MAS කැෂුවල් ලයින් කණ්ඩායම වට 3-1ක් වශයෙන් ද පහසුවෙන්ම පරාජය කරන ලදි. තරමක් මන්දගාමී අයුරින් පැවැත්වුණු එම තරගවල දී පැහැදිලිව දිස් වූ කරුණක් නම් සැබෑ සටන පවතින්නේ අවසන් මහා තරගයේ දී බවයි.

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම් බහුල ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් කණ්ඩායම් දෙකෙහිම නියෝජනය වූ බැවින් තියුණු තරගයක් නැරඹීමේ අපේක්ෂාවෙන් යුතුව විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ක්‍රීඩාගාරයට එක් රැස්වී සිටියහ. එම අපේක්ෂා එලෙසින්ම ඉටු කරමින් දෙපිලම තරග ආරම්භයේ පටන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වනු දක්නට ලැබුණි.

පළමු වටය

තරගයේ පළමු වටය ආරම්භයේ දී දෙපිලම තරමක් ආරක්ෂාකාරී තරග රටාවකට පිවිසි අතර යුධ හමුදා ක්‍රීඩිකාවන්ගෙන් සිදුවූ අත්වැරදීම් නිසා පළමු තාක්ෂණික කෙටි විවේකය එළඹෙන විට ලකුණු 8-2ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

විවේකයෙන් අනතුරුව ගුවන් හමුදා කණ්ඩායමේ නායිකා දිනේෂා ප්‍රසාදිනී එල්ල කළ දැකුම්කළු ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාරයක් ලෙස යුධ හමුදා කණ්ඩායමේ තිළිණි වාසනා ප්‍රතිවාදී පිලේ ප්‍රහාරක රේඛාව අසලම පතිත වන ලෙස එල්ල කළ පහරත් සමඟ තරගයේ උණුසුම ඉහළ ගිය අතර දෙවන තාක්ෂණික කෙටි විවේකය වන විට 16-11ක් ලෙස තරගයේ ඉදිරියෙන් පසු වූයේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ය.

කෙසේ වෙතත් ඉන්පසුව යුධ හමුදාවටම ආවේණික වූ සටන්කාමීත්වය පෙරදැරි කරගෙන පිටියට අවතීර්ණ වූ යුධ හමුදා ක්‍රීඩිකාවන් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට එකදු ලකුණක් හෝ ලබා නොදී ලකුණු 16-16ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සමත් විය. ඉන් නොනැවතුන ඔවුන් ලකුණු 23-18 ක් ලෙස එම වටයේ ඉදිරියට ගිය අතර ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සිය අවසන් ප්‍රහාරය දියත් කරමින් ලකුණු 20-23 බවට පත්කරගෙන තරගය තමා වෙත නතු කර ගැනීමට උත්සාහ කළ ද යුධ හමුදා පුහුණුකරු තම අත්දැකීම් භාවිතා කර ලබා ගත් කෙටි විවේකයෙන් ගුවන් හමුදා කණ්ඩායමේ රිද්මය බිඳී ගොස් තරගය නැවතත් යුධ හමුදා කණ්ඩායම දෙසට හැරුණු අතර තරග වටය නිමාවේ දී අවසන් ලකුණු සටහන දිස් වූයේ 25-21ක් ලෙසින් යුධ හමුදා කණ්ඩායමට ජය ගෙන දෙමිනි.

දෙවන වටය

තරග වටය ආරම්භයේ දී ද පළමු වටයේ ලෙසින්ම පෙරමුණ ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වූයේ පළමු තාක්ෂණික කෙටි විවේකය එළඹෙන විට ලකුණු 8-5ක් ලෙස ඉදිරියට එමිනි. ප්‍රතිවාදී පිලේ ප්‍රහාරයන් කිහිපයක්ම සාර්ථකව ආවරණය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වූ අතර ආවරණයන්ගෙන් ගැලවීමට යුධ හමුදා ප්‍රහාරිකාවන් කිහිප වරක්ම අපොහොසත් වනු පෙනුනි.

ගුවන් ප්‍රහාරයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් නැවත තරගයට අවතීර්ණ වීමට යුධ හමුදා කණ්ඩායම කිහිප විටක්ම උත්සාහ කළ ද, දෙවන තාක්ෂණික කෙටි විවේකය වන විටත් ලකුණු 16-12ක් ලෙස තරගයේ වැඩි වාසි අත්කරගෙන සිටියේ ගුවන් හමුදා කණ්ඩායමයි.

තරගයේ මුල සිටම තම රිද්මය ඒකාකාරී ලෙස පවත්වාගෙන ගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සිය ප්‍රතිවාදීන්ට තරගයට පිවිසීමට කිසිදු ඉඩක් නොතබමින් ලකුණු 22-16ක් දක්වා තරගය ඉදිරියට රැගෙන ගියහ. එහි දී පෙර වටයේ මෙන් කෙටි විවේකයක් ලබාගෙන තරගයේ රිද්මය වෙනස් කිරීමට යුධ හමුදා පුහුණුකරු සරත් ද සිල්වා ගත් උත්සාහය මෙවර සාර්ථක වූයේ නැත. කෙටි විවේකයෙන් පසු පන්දුව පිරිනැමීමේ දී ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරු නලින් සම්පත් ලබා දුන් අවවාදය අනුව යමින් අනුත්තරා සඳමාලි පිටියෙන් තරමක් පසුපසට වී වේගවත් පිරිනැමීමක් යොමුකර ලකුණු ලබා ගනිමින් තරගය තම කණ්ඩායම වෙතම නතු කරගත්තාය. එම තරග වටය අවසන් වූයේ ලකුණු 25-18ක් ලෙස තරමක පහසු ජයක් ගුවන් හමුදා කණ්ඩායමට අත්පත් කර දෙමිනි.

විදුලි සැරයෙන් යුධ හමුදා බර අවි අක්‍රීය වෙයි

වොලිබෝල් ක්‍රීඩාවේ උණුසුම හා චමත්කාරය මනා ලෙස විදහා දක්වමින් අද දින (18) පැවැත්වූ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් තරගාවලියේ පිරිමි…

තුන්වන වටය

ප්‍රථම තාක්ෂණික කෙටි විවේක කාලය වන විට ලකුණු 8-7 ලෙස පෙරමුණ ගෙන සිටියේ යුධ හමුදා කණ්ඩායමයි.

සිය කණ්ඩායමේ කෙටි පන්දු ප්‍රහාරිකාව විසින් ආවරණ මඟහරවමින් එල්ල කළ වේගවත් ප්‍රහාරයෙන් ඔද වැඩුණු යුධ හමුදා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙවන තාක්ෂණික කෙටි විවේකය එළඹෙන විට දී ලකුණු 16-12ක් ලෙස පවත්වා ගෙන තම වාසිදායක තත්ත්වය එලෙසින්ම රඳවා ගැනීමට යුධ හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

දෙවන තාක්ෂණික කෙටි විවේකයෙන් පසු එළඹුණේ තරගයේ උද්වේගකරම කාල සීමාවයි. පහරට පහර එල්ල කරමින්, ආවරණයට ආවරණය යොමු කරමින් උනුන් හා කරට කර සටනක නියැලීමට දෙපිලේම ක්‍රීඩිකාවන් සමත් විය. ලකුණු තත්ත්වය 22-20ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියෙන් සිටින විට යුධ හමුදා කෙටි පන්දු ප්‍රහාරිකා අයේෂා මධුරිකා විසින් යොමු කළ ආවරණයෙන් ලකුණක් හිමි කරගෙන යළිත් තරගයට අවතීර්ණ වූ යුධ හමුදා කණ්ඩායම ලකුණු 22-22ක් ලෙස තරගය සම තත්ත්වයට ගෙන ආ පසු එතැන් පටන් තරගය දෙපසට දෝලනය වීම ආරම්භ විය.

යුධෝපකරණ බලකාය හා සිරි පැරකුම් ශූරතා දිනති

10 වන වරටත් පවත්වනු ලබන මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග අද (18) මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවති අතර…

ලකුණු 24-24, 26-26, 27-27 ආදී වශයෙන් දෙපිලේම ලකුණු සම වෙමින් තරගය ඉදිරියට ඇදී ගිය අතර අවස්ථා තුනක දී ම පන්දු පිරිනැමීමේ වැරදි නිසා තරගය ජය ගැනීමට තිබූ අවස්ථා තුනක් යුධ හමුදා කණ්ඩායම අතින් ගිලිහී ගියේය. ලකුණු තත්ත්වය 29-29ක් ලෙස සම තත්ත්වයේ පවතින විට යුධ හමුදා කණ්ඩායමේ තිළිණි වාසනා විසින් ආවරණ දෙකක් අතරින් එල්ල කරන ලද දර්ශනීය උස පන්දු ප්‍රහාරයෙන් පසු ලකුණු තත්ත්වය 30-29ක් ලෙස පවතින විට තරග වටය ජය ගැනීමට තිබූ අවස්ථාව යුධ හමුදාවෙන් ගිලිහී ගියේ ඔවුන් විසින් සිදු කළ පිරිනැමීම පිටියෙන් ඉවතට ඇදී ගිය බැවිනි.

එම වරදින් උපරිම එල නෙලාගත් ගුවන් හමුදා කණ්ඩායම වෙහෙසකාරී දිගු තරග වටයක ජයග්‍රාහී නිමාව තම නාමය ඉදිරියෙන් සටහන් කළේ අනුත්තරා සඳමාලිගේ දැකුම්කළු කෙටි පන්දු ප්‍රහාරයක් ද සමඟින් ලකුණු 35-33ක් ලෙස තුන්වන වටය ජයග්‍රහණය කරමිනි. ගුවන් හමුදා කණ්ඩායම වට 2-1 ලෙස ඉදිරියෙන්.

සිව්වන වටය

තුන්වන වටයේ උද්වේගකර භාවය නිසාම සිව්වැනි වටය ආරම්භයේ කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන්ගෙන් දිස් වූයේ වෙහෙසකාරී බවකි. පෙර වටයේ එලෙසින්ම රඳවාගෙන තරග වැදුණ ගුවන් හමුදා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පළමු තාක්ෂණික කෙටි විවේකය එළඹෙන විට ලකුණු 8-6ක් ලෙස ඉදිරියෙන් සිටි අතර තරඟයේ ග්‍රහණය තමා වෙතින් අත් නොහළ ඔවුන් දෙවන තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු තත්ත්වය 16-10ක් ලෙස ඉහළ නංවාගැනීමට සමත් විය.

අනතුරුව යුධ හමුදා ක්‍රීඩිකාවන්ට යළිත් තරගයට පිවිසීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහුරා දැමූ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් නිදැල්ලේ තම ප්‍රහාර එල්ල කරමින් ලකුණු රැස් කරනු දක්නට ලැබුණි. ඒ අතරින් චතුරිකා රණසිංහ තම සුපුරුදු දක්ෂතා අතරට පිවිසුණේ ඉතා වේගවත් කෙටි පන්දු ප්‍රහාර කීපයක් ප්‍රතිවාදීන් වෙත එල්ල කරමිනි. අවසානයේ ගියවර ශූරියන් ලෙස කිරුළු පැළඳී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 25-15ක් ලෙස සිව්වැනි වටය ජය ගනිමින් තම ශූරතාවය රැක ගැනීමට සමත් විය.

ලකුණු සටහන – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 21-25, 25-18, 35-33, 25-15 යුධ හමුදා ක්‍රීඩා සමාජය

තරගයෙන් අනතුරුව ThePapare.com හා අදහස් දැක්වූ ගුවන් හමුදා නායිකා දිනේෂා ප්‍රසාදිනී,

“ගොඩක් සතුටුයි. ගිය වසරේ දිනාගත් ශූරතාවය රැක ගැනීමට ලැබීම ගැන නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. යුධ හමුදා කණ්ඩායම ඉතා දක්ෂ කණ්ඩායමක්. ඔවුන්ගේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පහක් ක්‍රීඩා කරා. අප කණ්ඩායමේ සිටියේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනායි. එලෙස ලැබූ ජයග්‍රහණය ගැන ගොඩාක්ම සතුටුයි. ගුවන් හමුදාපතිතුමා ඇතුළු උදව් කළ හැමදෙනාටම ස්තූතියි” යැයි පැවසීය.

“මම ක්‍රීඩකයෙක් විදිහට 1996 වසරේ ගුවන් හමුදා කණ්ඩායමට එකතු වී පළමු තරගාවලියම ජය ගත්තා. අද වසර 21කට පසුව මම ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අවසාන දිනයේ ජයග්‍රාහී පුහුණුකරුවෙක් ලෙසින් නික්ම යනවා. මේක මට සුවිශේෂී දිනයක්. අපේ කණ්ඩායමේ ශක්තිය පන්දු පිරිනැමීම. පළමු වටය පරාජය වුවත් අපි ඔවුන්ගේ දුර්වලතා හඳුනා ගෙන අපේ අත්දැකීම්වලින් තරගය ජයග්‍රහණය කළා.” යැයි ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු නලින් සම්පත් ද ThePapare.com සමඟින් අදහස් දක්වමින් පැවසීය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා රන්ජිත් සියඹලාපිටිය අමාත්‍යවරු ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙනි.

 විශේෂ දක්ෂතා 

  • හොඳම පන්දු පිරිනමන්නිය – අනුත්තරා සඳමාලි (ගුවන් හමුදා කාන්තා කණ්ඩායම)
  • හොඳම පන්දු භාරගන්නිය – ශ්‍යාමා මධුරංග  (ගුවන් හමුදා කාන්තා කණ්ඩායම)
  • හොඳම පන්දු සකසන්නිය – අශානි ජයතුංග  (ගුවන් හමුදා කාන්තා කණ්ඩායම)
  • හොඳම ප්‍රහාරිකාව – අනූෂා සඳමාලි  (ගුවන් හමුදා කාන්තා කණ්ඩායම)
  • හොඳම පන්දු වළකන්නිය – අයේෂා මධුරිකා (යුධ හමුදා කාන්තා කණ්ඩායම)
  • හොඳම ආරක්ෂිකාව – තමරා කුමාරි දිසානායක (යුධ හමුදා කාන්තා කණ්ඩායම)
  • සියලු අංශවලින් දක්ෂතම ක්‍රීඩිකාව – දිනේෂා ප්‍රසාදිනී  (ගුවන් හමුදා කාන්තා කණ්ඩායම)

 කණ්ඩායම් 

  • තෙවන ස්ථානය – MAS කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය
  • අනුශුරතාවය –  ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා කණ්ඩායම
  • ශූරතාවය – ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට