යුධෝපකරණ බලකාය හා සිරි පැරකුම් ශූරතා දිනති

773

10 වන වරටත් පවත්වනු ලබන මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග අද (18) මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවති අතර එහි ආධුනික අංශයේ කාන්තා සහ පිරිමි ශූරතා ජයග්‍රහණය කිරීමට පිළිවෙළින් බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ ක්‍රීඩා සමාජය සමත් විය.

සිරි පැරකුම්, රතනපාල, යුධෝපකරණ සහ ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම් අවසන් තරගයට

10 වන වරට පැවැත්වෙන මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ ආධුනික කාණ්ඩයේ කාන්තා…

ආධුනික පිරිමි අවසන් මහා තරගය

සියලු දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි ආධුනික අංශයේ පිරිමි අවසන් මහා තරගය සඳහා ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය සුදුසුකම් ලබා තිබුණේ පිළිවෙළින් ක්‍රියේටර්ස් ක්‍රීඩා සමාජය හා වැගනර්ස් ක්‍රීඩා සමාජය වට 3/0ක් ලෙස පරාජය කරමිනි.

තරගයේ පළමු වටය ලකුණු 25-22ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට යුධෝපකරණ බලකාය සමත් වුවත්, ප්‍රේක්ෂකාගාරයේ දිරි ගැන්වීම්වලින් උත්තේජනය වූ ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය 27-25ක් ලෙස දෙවන තරග වටය ජයග්‍රහණය කරන ලදි.

තරග වට 1/1ක් ලෙස දෙපිලම සම මට්ටමක සිටිය දී තරගයේ තෙවන වටය ක්‍රියාත්මක වූ අතර යුධෝපකරණ බලකාය සිය දක්ෂතා මනාව ප්‍රදර්ශනය කරමින් එම වටය ජයග්‍රහණය කළත්, තරගයේ සිව්වැනි වටයේ දී ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම 25-22ක් ලෙස වාර්තා කරමින් තරගය වට පහක් දක්වා රැගෙන යන ලදි.

පස්වන වටයේ එක් මොහොතක දෙපිලම ලකුණු 9-9ක් ලෙස සම මට්ටමක පසු වුවත්, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා පිල එක දිගට ලකුණු 5ක් ලබාගෙන සිය කණ්ඩායම දෙසට තරගයේ වැඩි වාසිය හිමි කර ගැනීමට සමත් විය. අවසානයේ එම ලකුණු ලබා ගැනීමේ රැල්ල අවසන් වූයේ යුධෝපකරණ පිලෙන් අසාර්ථක පිරිනැමීමක් සිදු කළ නිසාවෙනි. අවසානයේ තියුණු සටනකින් පසුව තරග වට 3/2ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ කණ්ඩායමට ආධුනික අංශයේ ශූරතාවය හිමි විය.

ලකුණු තත්වය:

  • ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය 22–25, 27-25,18-25, 25-22, 15-11 ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය

ක්‍රියේටර්ස් ක්‍රීඩා සමාජය ආධුනික පිරිමි තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදි.

  • හොඳම පන්දු සකසන්නා – ජී. පී. දුශ්ශන්ත (ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය)
  • හොඳම ප්‍රහාරකයා – ජේ. එච්. උදයන්ත (ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – පී. එච්. ජී. ආරියරත්න (ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය)

ආධුනික කාන්තා අවසන් මහා තරගය

බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය හා ශ්‍රී රතනපාල ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ පිළිවෙළින් ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය හා බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

ගියවර මෙහි කාන්තා ශූරතාවය ජයග්‍රහණය කළ බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජයට පළමු වටයේ ආරම්භයේ පටන් හොඳ තරගයක් ලබා දීමට ශ්‍රී රතනපාල ක්‍රීඩා සමාජයට හැකි විය.

නමුත් සිය අත්දැකීම් මනාව උපයෝගී කර ගත් සිරි පැරකුම් ක්‍රීඩිකාවෝ පළමු වටය ජයග්‍රහණය කළහ. අවසන් වට දෙකේ දී ද සැලකිය යුතු දස්කම් අතරට පැමිණෙමින් සුනේත්‍රා ප්‍රියදර්ශනී ඇතුළු සිරි පැරකුම් ක්‍රීඩිකාවන් අභිබවා යමින් ලකුණු රැස් කර ගැනීමට රතනපාල ක්‍රීඩිකාවන් අපොහොසත් විය. තරග වට 3/0ක් ලෙස තරගය අවසන් කරමින් ආධුනික අංශයේ කාන්තා ශූරතාවය ජයග්‍රහණය කිරීමට  සිරි පැරකුම් ක්‍රීඩා සමාජය සමත් විය.

ලකුණු තත්වය:

  • බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය 25–20, 25-21, 25-18 ශ්‍රී රතනපාල ක්‍රීඩා සමාජය

මෙහි තෙවන ස්ථානය ජයග්‍රහණය කිරීමට ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය සමත් වූයේ තරග වට 3/0ක් ලෙස බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

  • හොඳම පන්දු සකසන්නිය – සුනේත්‍රා ප්‍රියදර්ශනී විජේසිංහ (බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය)
  • හොඳම ප්‍රහාරිකාව – දිලුක්ෂි හර්ෂනී සේනාරත්න (බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – නිමේෂිකා සෙව්වන්දි ගුණවර්ධන (බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය)

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට