“පාපන්දු ක්‍රීඩකයින්ට පඩි නැතුව මාස 6ක්, අවුරුද්දක් ඉන්න පුළුවන්” – Carlos Tevez

74

‘Coronavirus’ වසංගතය හේතුවෙන් උද්ගතව ඇති තත්වය සමථයකට පත්කර ගැනීමට පාපන්දු ක්‍රීඩකයින් මීට වඩා වැඩි දායකත්වයක් ලබා දිය යුතු බව ආජන්ටිනාවේ ප්‍රබල පාපන්දු ක්‍රීඩක Carlos Tevez අදහස් දක්වමින් පවසයි. 

මෙම වයිරසය හේතුවෙන් ලොව පුරා පාපන්දු තරගාවලි දින නියමයකින් තොරව කල් යාමත් සමඟ පාපන්දු සමාජ හට තරගවල ටිකට්පත් හරහා ලැබෙන මුදල් අහිමි වීමත් සමඟ මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපෑමට ඔවුන්ට සිදුවී ඇති අතර එම තත්වය පාලනය කරගැනීම සඳහා පාපන්දු ක්‍රීඩකයින් සිය දායකත්වය ලබා දිය යුතු බවට මේ වන විට ආජන්ටිනාවේ Boca Juniors කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයෙකු වන Carlos Tevez පවසා සිටී.

“මේක ලොකු ව්‍යසනයක්. පාපන්දු ක්‍රීඩකයෙකුට වැටුප් ලබාගන්නේ නැතුව මාස 6ක්, අවුරුද්දක් වුනත් ඉන්න පුළුවන්. හැමදාම තමන්ගේ ළමයි එක්ක ඉන්න, උදේ 6ට ගෙදරින් ගිහින් පවුලට කන්න දෙන්න ආපහු හවස 7ට ගෙදර එන ගොඩක් පවුල් වගේ අපිට අමාරු තත්වයක් උදා වෙලා නැහැ. අනෙක් හැම අවස්ථාවක දී ම වගේ මේ වෙලාවෙත් අපි සමාජයට උදාහරණයක් දෙන්න ඕන.”

යුරෝපය පුරා පාපන්දු සමාජ රැසක ක්‍රීඩකයින් මේ වන විටත් යම්කිසි ප්‍රතිශතයක් දක්වා වැටුප් කප්පාදුවක් ලබා ගැනීමට එකඟ වී ඇති අතර ඒ හරහා එම පාපන්දු සමාජවල සේවය කරන ක්‍රීඩකයින් නොවන සේවකයින් හට ඔවුන්ගේ වැටුප් සම්පූර්ණ වශයෙන් මෙම තත්වය අවසන් වනතුරු ලබා දීමට කටයුතු සැලැස්වීමට හැකියාව ලැබී ඇත. 

මෙවන් තත්වයක් යටතේ වුවද එංගලන්තයේ Premier League කණ්ඩායම් කිසිවක් මේ දක්වා එවන් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර අනෙක් පසින් පාපන්දු සමාජ කිහිපයක්ම ඔවුන්ගේ ක්‍රීඩකයින් නොවන සේවකයින්ගේ වැටුප් යම්කිසි ප්‍රතිශතයක් දක්වා කප්පාදු කිරීමට තීරණය කර ඇත. 

කෙසේ නමුත් Premier League තරගාවලියේ ක්‍රීඩා කරනු ලබන Brighton කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Graham Potter සහ Bournemouth කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Eddie Howe මෙම තත්වය යටතේ ඔවුන්ගේ වැටුප් කප්පාදුවට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී තිබීම පැසසුමට ලක්විය යුතුය. 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ Tevez පවසන්නේ පාපන්දු ක්‍රීඩකයින් තවදුරටත් ජනතාව වෙත ගොස් ඔවුන්ට උදව් ලබා දීමට ද කටයුතු කළ යුතු බවයි.

“ක්‍රීඩා සමාජ මෙතැන දී මැදිහත් විය යුතුයි. උදේට පුහුණුවීම් කටයුතුවලට යනවා වෙනුවට ක්‍රීඩකයින්ට මිනිස්සු ළඟට ගිහින් උදව් කරන්න පැවරිය යුතුයි. උදාහරණයක් විදිහට La Boca වල තියෙන ආහාර ලබාදෙන ස්ථානවලට යන්න. මම නම් ගොඩක් සතුටුයි ඒකට. එහෙම තමයි අපිට හොඳ උදාහරණයක් සපයන්න පුළුවන්. ඔබට පුළුවන් ඇතුළට වෙලා වීඩියෝ කරලා ඒවා පළකරන්න. නමුත් හොඳම උදාහරණය ලබා දෙන්න පුළුවන් එළියට ගිහින් උදව් කරලා.”

තවත් කියවන්න;

අනතුරුව අවසාන වශයෙන් මෙහි දී ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම වසංගත තත්වය හරහා මිනිසුන්ට ඔවුන්ගේ චර්යාවන් වෙනස් කරගැනීමට සිදු වනු ඇති බවයි;

“හැමෝම එකා වගේ ඉඳලා උදව් අවශ්‍යම මිනිස්සුන්ට උපරිමයෙන් උදව් කරන එක මේ අවස්ථාවේ දී ගොඩක් වටිනවා. ඒ නිසා මම හිතනවා ලෝකේ හැමෝම ලොකු එකමුතු කමක් පෙන්වයි කියලා. මොකද අපි හැමෝටම මේක එක විදිහට බලපාලා තියෙන්නේ. විශේෂයෙන්ම වයසක අයට, එයාලා ආජන්ටිනාවේ හිටියත් ඇමෙරිකාවේ හිටියත්. ඒ නිසා මම විශ්වාස කරනවා අපි සමාජයක් විදිහට එකතු වෙලා ඉස්සරහට ගිහින් අනාගතයේ දී හැම දෙයක් ම හොඳ විදිහට වෙනස් වෙයි කියලා. වයිරසය අපිට ඒක උගන්නනවා.”

Manchester United, Manchester City සහ Juventus වැනි ප්‍රධාන පෙළේ පාපන්දු සමාජ රැසක් නියෝජනය කරමින් UEFA Champions League ශූරතාවය සහ අවස්ථාවන් කිහිපයක දී ම ලීග් කිරුළු ඇතුළු තවත් දේශීය ශූරතාවන් රැසක් ජයග්‍රහණය කළ Tevez මේ වන විට සිය පාපන්දු දිවියේ අවසාන අවදිය සිය මව් රට වන ආජන්ටිනාවේ Boca Juniors කණ්ඩායම සමඟ ගතකරමින් සිටී.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<