විදුලි සැරයෙන් යුධ හමුදා බර අවි අක්‍රීය වෙයි

1869

වොලිබෝල් ක්‍රීඩාවේ උණුසුම හා චමත්කාරය මනා ලෙස විදහා දක්වමින් අද දින (18) පැවැත්වූ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් තරගාවලියේ පිරිමි අංශයේ අවසන් මහා තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට පසුගිය වර අනුශූරතාවය දිනූ විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත් විය.

එහි දී ඔවුන් අතින් තරග වට 3-0 ලෙස පරාජයට පත් වූයේ පසුගිය වසරේ තෙවන ස්ථානය දිනා ගත් යුධ හමුදා කණ්ඩායමයි. අවසන් මහා තරගය මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

යුධ හමුදාවේ අලුත් යුද්ධයට විදුලියේ බලපෑම කෙසේ වේවිද?

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වොලිබෝල් කණ්ඩායම් කිහිපය පමණක් සහභාගී වූ මන්චි ජාතික…

පසුගිය සතියේ පැවති අවසන් පූර්ව වටයේ තරගවල දී කාගේත් වැඩි අවධානයක් දිනාගත් තරගය වූයේ විදුලිබල මණ්ඩල කණ්ඩායම හා වරාය අධිකාරි කණ්ඩායම අතර තරගයයි. එයට හේතුව වූයේ එම තරගය පසුගිය වර ශූරයන් හා අනුශූරයන් අතර සටනක් වූ බැවිනි. එහි දී ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වූ විදුලිබල මණ්ඩල කණ්ඩායම පසුගිය වර ශූරයන් වූ වරාය අධිකාරි කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පහසුවෙන් පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

අනෙක් අවසන් පූර්ව තරගය පැවතුනේ යුධ හමුදා කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතරය. යුධ හමුදා කණ්ඩායම අවසන් මහා තරගයට තම මංපෙත් හෙලි කරගනු ලැබූයේ සටන් බිමේ මිතුරුදම් පසෙක දමා ගුවන් හමුදා කණ්ඩායම තරග වට 3-1ක් ලෙස පරාජයට පත් කරමින්ය.

පළමු වටය

තරගය ආරම්භයේ දී ම තම ආක්‍රමණය ආරම්භ කළ විදුලිබල මණ්ඩල ක්‍රීඩකයෝ පළමු තාක්ෂණික කෙටි විවේකය එළඹෙන විට ලකුණු 8-6ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

විවේකයෙන් අනතුරුව කණ්ඩායම් දෙකම සෙමෙන් තම රිද්මයට එළඹුණු අතර කණ්ඩායම් දෙකෙහිම ආවරණ ඉතා උස්වූ බැවින් උස පන්දු ප්‍රහාර එල්ල කිරීම තරමක් අපහසු බවක් පෙනී ගියේය. නමුත් යුධ හමුදා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙක් වන ශමිල් මලින්ත තම අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් ආවරණයන් මඟහරවා කෙටි පන්දු ප්‍රහාර කීපයක් එල්ල කළ ද, ඊට නොදෙවෙනි ලෙස ක්‍රියාත්මක වූ විදුලිබල මණ්ඩල කෙටි ප්‍රහාරක ලසන්ත පතිරණ අලංකාරවත් කෙටි පන්දු ප්‍රහාර කීපයක් එල්ල කළේ සටන යළිත් තම වාසියට හරවා ගනිමිනි.

දෙවන තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු තත්ත්වය 16-15ක් ලෙස තරගයේ වාසිය කණපිට පෙරලා ගැනීමට යුධ හමුදා කණ්ඩායම සමත්වූ නමුත් එය රඳවා ගැනීමට විදුලිබල ක්‍රීඩකයන් ඉඩ තැබුවේ නැත. ඔවුන් ක්‍රමයෙන් තම උස පන්දු ප්‍රහාරක දීප්ති රොමේෂ් තරගයට අවතීර්ණ කරගෙන ඔහුගේ වේගවත් ප්‍රහාරයන් අතරට ගයාන් ප්‍රේමරත්නගේ උපක්‍රමශීලී පහරවල් මුසු කර ගනිමින් දිගින් දිගටම ලකුණු රැස් කළේ ප්‍රතිවාදී ප්‍රහාරයන් තම ආවරණවලට නතු කරගනිමින්ය.

ප්‍රතිවාදී යුධ හමුදා ක්‍රීඩකයින්ගෙන් වරින් වර එල්ල වූ ප්‍රහාර නොතකා ඉදිරියටම ඇදුණු විදුලිබල මණ්ඩල කණ්ඩායම පළමු වටය ලකුණු 25-21ක් ලෙස තරමක පහසු ජයක් ලබාගත්තේ සමස්ත තරගයට හොඳ ආරම්භයක් සනිටුහන් කරමිනි.

දෙවන වටය

පළමු වටයේ ගොඩනගාගත් විශ්වාසය එලෙසම රඳවාගත් විදුලිබල ක්‍රීඩකයන් දෙවන තරග වටය ආරම්භයේ දී යුධ හමුදා ප්‍රහාර හතරක් පිට පිටම තම ආවරණයන්ට හසු කරගත්තේ තම කණ්ඩායමේ ශක්තිය මැනවින් පෙන්නුම් කරමිනි. අනතුරුව යළිත් තම සුපුරුදු රිද්මයට එළඹි දීප්ති රොමේෂ් ප්‍රමුඛ විදුලිබල ක්‍රීඩකයන් පහර පිට පහර එල්ල කරමින් පළමු තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු තත්ත්වය 8-3ක් ලෙසත්, දෙවන තාක්ෂණික කෙටි විවේකය එළඹෙන විට එය ලකුණු 16-11ක් ලෙසත් ඉහළ නංවා ගත්හ.

ඉන් නොනැවතුණු විදුලිබල මණ්ඩල කණ්ඩායම තම කෙටි පන්දු ප්‍රහාරක අයේෂ් පෙරේරාගේ හා උස පන්දු ප්‍රහාරක සඳුන් විමලසේනගේ ප්‍රහාරවලින් පිටිය වර්ණවත් කරමින් දෙවන වටයේ ලකුණු 25-17ක් ලෙස ඉතා පහසු ජයක් ලැබීමට සමත් විය.

යුධෝපකරණ බලකාය හා සිරි පැරකුම් ශූරතා දිනති

10 වන වරටත් පවත්වනු ලබන මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග අද…

තුන්වන වටය

මෙම තරග වටය ආරම්භයේ දී යුධ හමුදා ක්‍රීඩක මහේෂ් කුමාර තමා අවසන් පූර්ව තරගයේ දැක්වූ දස්කම් යළිත් වරක් පෙන්නුම් කිරීමට සූදානම් වූයේ ආකර්ෂණීය පහර කිහිපයක්ම එල්ල කරමිනි. නමුත් තම ප්‍රතිවාදියාගේ ශක්තිය වහා අවබෝධ කරගත් විදුලිබල මණ්ඩල කණ්ඩායමේ දීප්ති රොමේෂ් හා ලසන්ත පතිරණ එක්ව යුගල ආවරණ යොමු කරමින් මහේෂ්ගේ උත්සාහයන් වැළැක්වීමට කටයුතු කළේ තරගයේ තෙවැනි වටයත් තම කණ්ඩායමේ ග්‍රහණයට නතු කර ගනිමිනි.

පළමු හා දෙවැනි තාක්ෂණික කෙටි විවේකයන් අතරතුර දී තම ලකුණු තත්ත්වය පිළිවෙළින් 8-4ක් හා 16-12ක් ලෙස ඉදිරියෙන් පවත්වාගෙන ගිය විදුලිබල මණ්ඩල ක්‍රීඩකයෝ තෙවන වටයත් ලකුණු 25-20ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරමින් පසුගිය වසරේ තමන්ට අහිමි වූ ශූරතාවය මෙවර හිමිකර ගත්තේ පසුගිය වර තරගාවලි දෙකක දී ම අනුශූරතාවයෙන් සෑහීමකට පත්වෙමින් ගතකළ ජයග්‍රහණ ඉඩෝරයට නිමාවක් සටහන් කරමිනි.

ලස්සනම කණ්ඩායම නොව දක්ෂතම කණ්ඩායම කවුරුන්ද?

කාන්තා ලාලිත්‍යය ක්‍රීඩාවට එක්වන සෑමවිටකම ක්‍රීඩාව උද්දීපනය වේ. ශ්‍රී ලංකාවේ ජාතික..

ලකුණු තත්වය – විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය 25-21, 25-17, 25-20 යුධ හමුදා ක්‍රීඩා සමාජය

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා රන්ජිත් සියඹලාපිටිය අමාත්‍යවරු ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙනි.

විශේෂ දක්ෂතා

  • හොඳම පන්දු පිරිනමන්නා – ඉසුරු මධුෂාන් (ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම)
  • හොඳම පන්දු භාරගන්නා – සඳුන් විමලසේන (විදුලි බල මණ්ඩල කණ්ඩායම)
  • හොඳම පන්දු සකසන්නා – කසුන් චතුරංග (විදුලි බල මණ්ඩල කණ්ඩායම)
  • හොඳම ප්‍රහාරකයා – ගයාන් මධුශංක (විදුලි බල මණ්ඩල කණ්ඩායම)
  • හොඳම පන්දු වළක්වන්නා – ලසන්ත පතිරණ (විදුලි බල මණ්ඩල කණ්ඩායම)
  • හොඳම ආරක්ෂකයා – ඩබ්ලිව්. ලක්මාල් (විදුලි බල මණ්ඩල කණ්ඩායම)
  • සියලු අංශවලින් දක්ෂතම ක්‍රීඩකයා – දීප්ති රොමේෂ් (විදුලි බල මණ්ඩල කණ්ඩායම)

කණ්ඩායම්

  • තෙවන ස්ථානය – ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම
  • අනුශූරතාවය – ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම
  • ශූරතාවය – විදුලි බල මණ්ඩල කණ්ඩායම

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<