2026 පාපන්දු ලෝක කුසලානයේ 22 දිනයට අදාළ ව තවත් තරග ත්‍රිත්වයක් අද (03) ක්‍රියාත්මක වුනා.
ස්පාඤ්ඤය සහ ඔස්ට්‍රියාව
මෙම තරගයෙන් ස්පාඤ්ඤ කණ්ඩායම ගෝල 3-0ක් ලෙස ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ස්පාඤ්ඤය වෙනුවෙන් තරගයේ 36 සහ 89 මිනිත්තුවල දී ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට Mikel Oyarzabal සමත් වූ අතර, ඒත් සමඟම ඔහු මෙවර තරගාවලිය තුළ තරග දෙකක දී ගෝල ද්විත්වය බැගින් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. එවන් දස්කමක් සිදු කළ පළමු ස්පාඤ්ඤ ක්‍රීඩකයා ලෙස ද ඔහුගේ නම වාර්තා අතරට එක් වුනා.
මීට අමතරව ස්පාඤ්ඤ වෙනුවෙන් වාර්තා වූ අනෙක් ගෝලය Pedro Porro විසින් තරගයේ 66 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් වූ අතර, මෙම තරගය සම්පූර්ණයෙන්ම ස්පාඤ්ඤය විස්න් පාලනය කිරීමට සමත් වුනා. එමෙන්ම ස්පාඤ්ඤ ක්‍රීඩක Lamin Yamal ගෝල වාර්තා කිරීමට සමත් නොවුනත් ක්‍රීඩා පිටිය තුළ තම කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන සහයක් ලබා දීමට සමත් වීමත් විශේෂත්වයක්.
පෘතුගාලය සහ ක්‍රොයේශියාව
මෙම තරගය කණ්ඩායම් ද්විත්වයට මෙන්ම ලොව පුරා සිටින පාපන්දු ප්‍රේක්ෂකයින්ට ද ඉතා වැදගත් තරගයක් වුනා. මෙම තරගයේ දී පෘතුගාලය වෙනුවෙන් Cristiano Ronaldo සහ ක්‍රොයේශියාව වෙනුවෙන් Luka Modrić යන ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩා කළ අතර, මෑත කාලීන පාපන්දු ක්‍රීඩාවේ කැපී පෙනෙන දැවැන්ත චරිත දෙකක් ලෙස ඔවුන් දෙදෙනා වෙනුවෙන් විශේෂ රසික ආකර්ෂණයක් ද හිමි වුනා.
තරගය ආරම්භ කිරීමට පෙර පසුගිය වසරේ ජුලි 03 වැනි දා ජීවිතයට සමු දුන් පෘතුගාල ක්‍රීඩක Diogo Jota සිහිපත් කිරීම ද විශේෂත්වයක්.
එමෙන්ම තරගය ආරම්භයේ සිටම කණ්ඩායම දෙක ඉතා හොඳින් තරගයට අවතීර්ණ වෙමින් ක්‍රීඩාවේ යෙදුණා. තරගයේ 53 වැනි මිනිත්තුවේ දී ක්‍රොයේශියාව විසින් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් පසුව තරගයේ 68 වැනි මිනිත්තුවේ දී පෘතුගාලය ට දඬුවම් පහරක් හිමි වුනා. Ronaldo විසින් මෙම දඬුවම් පහර සාර්ථක කර ගනිමින් තරගය සම කිරීමට සමත් වූ අතර, මේත් සමඟම මෙය Ronaldo විසින් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයක දී වාර්තා කළ පළමු ගෝලය ලෙස ද සටහන් වුනා.
මින් අනතුරුව තරග සම මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පැවතුණු අතර, Ronaldo ද ක්‍රීඩක ආදේශකයක් සමඟ පිටියෙන් ඉවත් කෙරුණා.
ඉන් අනතුරුව තරගයේ 90+4 මිනිත්තුවේ දී Goncalo Ramos විසින් පෘතුගාලය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කරමින් කණ්ඩායම ඉදිරියට රැගෙන ඒමට සමත් වුනා.
කෙසේ වෙතත් ක්‍රොයේශියාව විසින් තරගය අත් නොහැර තවදුරටත් සටන්කාමී ලෙස ක්‍රීඩා කළ අතර, තරගයේ 90+13 මිනිත්තුවේ දී ඔවුන් ද ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. නමුත් මිනිත්තු කිහිපයක් ගත වූ නැවත විමසා බැලීමකින් අනතුරුව VAR තාක්ෂණය මත එම ගෝලය අවංලගු කිරීම සිදු වූ අතර, තරගයේ ජය පෘතුගාලයට හිමි වුනා.
මේත් සමඟින් Luka Modrićගේ ලෝක කුසලාන ගමන ද නිමා වනු ඇති. එමෙන්ම තරගයෙන් අනතුරුවත් පෘතුගාල ක්‍රීඩකයින් සිය මිතුරා වන Diogo Jota සිහිපත් කරන අයුරු දක්නට ලැබුණා.
කණ්ඩායම් 16 තරග වටයේ දී ස්පාඤ්ඤය සහ පෘතුගාලය එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ස්විස්ටර්ලන්තය සහ ඇල්ජීරියාව
මෙම තරගයෙන් ස්විස්ටර්ලන්තය ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන් තරගයේ 10 සහ 46 වැනි මිනිත්තුවල දී ගෝල වාර්තා කිරීමට සමත් වුනා.
ස්විස්ටර්ලන්තය මෙසේ ලෝක කුසලාන කණ්ඩායම් 16 තරග වටයකට නොකඩවා සුදුසුකම් ලබන 04 වැනි අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්. එමෙන්ම ඔවුන් ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ජය ගැනීමට සමත් වන්නේ 1938 ලෝක කුසලානයෙන් පසුව වීමත් තවත් සුවිශේෂී කරුණක්.
මෙවර තරගාවලියේ කණ්ඩායම් 32 තරග වටය සඳහා පැවැත්වීමට නියමිත අවසන් තරග ත්‍රිත්වය අද සහ හෙට (04) පැවැත්වීමට නියමිතයි.
- අද රාත්‍රි 11.30 – ඕස්ට්‍රේලියාව සහ ඊජිප්තුව
- හෙට අලුයම 3.30 – ආජන්ටිනාව සහ කේප් වර්ඩ්
- හෙට උදෑසන 7.00 – කොලොම්බියාව සහ ඝානා
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>






















