20 වැනි තරගය වර්ෂාවට හසුවෙයි

LPL 2026

2
Cricket

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පැවැති 20 වැනි තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමක් නොමැති ව ඊයේ (2) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.

Jaffna Kings සහ Dambulla Sixers අතර පැවැති එම තරගය මෙවර තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය වූ අතර ඒ වෙද්දීත් Jaffna Kings ක්‍රීඩකයෝ Qualifier 1 තරගයට සුදුසුකම් ලබා සිටියා. Dambulla Sixers කණ්ඩායමට ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි වූයේ අවසන් ස්ථානයයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2026 පළමු වටයේ ප්‍රසාද ලකුණු පුවරුව
  Teams Mat Won Lost N/R PTS NRR
1 Jaffna Kings 8 5 2 1 11 0.385
2 Galle Gallants 8 5 3 0 10 0.604
3 Colombo Kings 8 4 4 0 8 0.108
4 Kandy Royals 8 3 5 0 6 -0.567
5 Dambulla Sixers 8 2 5 1 5 -0.565

20 වැනි තරගය, Jaffna Kings සහ Dambulla Sixers පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Jaffna Kings

මෙම තරගයේ දී 20 වැනි වියේ පසුවෙන පා දඟ පන්දු යවන ප්‍රවීන් මනීශාන් Jaffna Kings කණ්ඩායම නියෝජනය කරමින් පළමුවරට විස්සයි විස්ස තරග පිටියට එක් වීමට වරම් දිනා ගත්තා.

Jaffna Kings

 

භානුක රාජපක්ෂ (නායක), කමිල් මිෂාර (කඩුලු රකින්නා), Khawaja Nafay, අවිශ්ක ප්‍රනාන්දු,  Shakib Al Hasan, චමිඳු වික්‍රමසිංහ, දුනිත් වෙල්ලාලගේ, ප්‍රවීන් මනීශ, Zahoor Khan, ඩිල්ශාන් මදුශංක, Lizaad Williams.

 

Dambulla Sixers

 

දිනේෂ් චන්දිමාල් (නායක සහ කඩුලු රකින්නා), Sahibzada Farhan, පවන් රත්නායක, Reeza Hendricks, Sikandar Raza, Gulbadin Naib, සොනාල් දිනූෂ, ගයන වීරසිංහ, Shadley van Schalkwyk, මහීෂ් තීක්ෂණ, අකිල දනංජය, දුශ්මන්ත චමීර.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Dambulla Sixers ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 203ක් ලබා ගත් අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පවන් රත්නායක. ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා ගන්නවා.

ඔහු එම ඉනිම තුළ දී නායක දිනේෂ් චන්දිමාල් හා එක් ව 3 වැනි කඩුල්ල සඳහා පන්දු 34ක දී ලකුණු 68ක සබඳතාවක් ද ගොඩ නගනවා. දිනේෂ් චන්දිමාල් පන්දු  24ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 44කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

ඔවුන්ට අමතර ව ආරම්භක පිතිකරු Sahibzada Farhan පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ද සහ Gulbadin Naib පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ඩිල්ශාන් මදුශංක ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ සහ Lizaad Williams කඩුලු ද්විත්වය බැගින් ද Zahoor Khan කඩුල්ලක් ද දවා ගත්තා.

Dambulla Sixers ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී පළමු වරට තරගයට වර්ෂාවෙන් බාධා කෙරුණ අතර ඒ වෙද්දී ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 187ක් ලබා සිටියා. කෙසේ වෙතත් නොබො වේලාවකින් එම ඉනිමේ අවසන් පන්දුවාරය යැවුණ ද Jaffna Kings පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට, නැවත අයහපත් වූ කාලගුණ තත්ත්වය ඉඩ ලබා දුන්නේ නැහැ.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Dambulla Sixers – කඩුලු 6ක් දැවී 201 (20.0) Sahibzada Farhan 24, දිනේෂ් චන්දිමාල් 44, පවන් රත්නායක 47, Gulbadin Naib 20, ඩිල්ශාන් මදුශංක 3/32, දුනිත් වෙල්ලාලගේ 2/24, Lizaad Williams 2/39

තරගයේ විසඳුමක් නෑ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (03) සහ හෙට (4) විවේකී දිනයන් වන අතර නැවත තරගාවලිය ආරම්භ වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීයි.

එහි දී තරගාවලියේ තීරණාත්මක වටයේ තරග ආරම්භ වෙන අතර අගෝස්තු 05 වැනිදායින් ආරම්භ වෙන එම තරග අතර පළමුවෙන් ම පැවැත්වෙන්නේ Galle Gallants සහ Jaffna Kings අතර Qualifier 1 තරගයයි.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<