සරත් ජෙම්ස් සහ නිව්ස්ටාර් සමාජ අවසන් වටයට

617
munchee voleyball

පුරා දින 3ක් මහරගම ජාතික තරුණ සේවා සභා එලිමහන් ක්‍රීඩා පිටියේදී පැවති “මන්චී ජාතික වොලිබෝල් තරගාවලියේ ”ආධුනික අංශයේ ජාතික තරග අතුරින් සරත් මැණික් සහ නිව්ස්ටාර් ක්‍රීඩා සමාජ පිරිමි අංශයේ අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගනිද්දී ගුවන් හමුදා සහ බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජ කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් සපුරා ගන්නට සමත් විය.

පසුගිය ලිපි: ආධුනික අංශයේ දිස්ත්‍රික් වොලිබෝල් ශූරයෝ ජාතික වටයට

 පිරිමි අංශය 

වාසනා බේකරි ක්‍රීඩා සමාජය අර්ධ අවසන් පූර්ව වටයේදී මාදම්පේ නිව් සික්ස් ක්‍රීඩා සමාජය 3:2 ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ සරත් ජෙම්ස් (මන්ත්‍රි මල්ලී) ක්‍රීඩා සමාජය අර්ධ අවසන් පූර්ව වටයේදී යුධ හමුදා විජයබා ක්‍රීඩා සමාජය වට 3:1ක් ලෙස පරාජය කරමින් ද අවසන් පූර්ව වටයට අසුන් වෙන්කර ගන්නා ලදී.

A කාණ්ඩයෙන් තරග වැඳුනු වාසනා බේකරි ක්‍රීඩකයෝ තරගාරම්භයේදී පෙරමුණ ගැනීමට සමත් විය. තරගයේ ප්‍රථම වටයේදී 12-05 ලෙස පෙරමුණ ගත් වාසනා ක්‍රීඩකයෝ ප්‍රථම අර්ධය නිමා කලේ 25-12ක් ලෙසිනි.

තරගයේ දෙවැනි අර්ධයේදී නියමිත ක්‍රීඩා රටාවට පිවිසි සරත් ක්‍රීඩකයෝ තරගය ඉතා හොඳින් ක්‍රීඩා කල නමුත් දෙවැනි වටයේදී ද පෙරමුණ ගත්තේ වාසනා ක්‍රීඩා සමාජය යි (25-20).

තරගය බලා සිටින්නන් බොහෝවිට තෙැවනි වටයෙන් ජයග්‍රහකයින් තීරණය වේ යැයි සිතූවත්, පස්වැනි වටයක ක්‍රීඩා අත්දැකීමක් නරඹන්නන්ට ලබා දෙමින්, සරත් මැණික් ක්‍රීඩකයෝ සිය අත්වැරදීම් මනාව පාලනය කරගනිමින් 23-25ක් ලෙස වාසනා ක්‍රීඩකයින් පරාජය කිරීමට සමත් විය.

තරගයේ වඩාත් උණුසුම් සහ තියුණුම වටය ආරම්භ වූයේ ඉන්පසුවයි. වාසනා ක්‍රීඩකයෝ 3:1ක් ලෙස හෝ තරගය ජයග්‍රහණය කරමින්, අවසන් මහා තරගයට පිවිසීමට වෙර දැරූවත්, සරත් මැණික් ක්‍රීඩකයෝ එයට ඉඩ නොතැබූහ. සෑම විටම එක් ලකුණක ලකුණු පරතරය මනා ලෙස සම කරගනිමින් කණ්ඩායම් දෙකම ක්‍රීඩා කල ආකාරය කෙතරම් තියුණු ද යත්, සරත් මැණික් ක්‍රීඩා සමාජය තරගය ජයගත්තේ 28-26ක් ලෙසයි.

තරගයේ පස්වැනි වටය ආරම්භයේදී කාසියේ වාසිය දිනා ගත් සරත් මැණික් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුව යොමු කිරීම වාසනා ක්‍රීඩකයින් හට ලබා දුන් අතර සරත් ක්‍රීඩකයෝ පළමු ලකුණ වාර්තා කිරීමට සමත් වූහ. කරට කර ලකුණු තත්වයන් සම කරගනිමින් ඉදිරියට ඇදී කණ්ඩායම් දෙකෙන් අවසානයේදී 15-13ක් ලෙස ජයග්‍රහණය වාර්තා කල මන්ත්‍රී මල්ලී (සරත් මැණික්) ක්‍රීඩා සමාජය අවසන් සටනේ අසුන කරගන්නට සමත් විය.

දිනයේ පැවති දෙවැනි අර්ධ අවසන් තරගය පැවතියේ විවේකානන්දි ක්‍රීඩා සමාජය සහ ගල්ගමුව නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය අතරයි.

යුධ හමුදා සිංහ රෙජීමෙන්තුව 3:2ක් ලෙස පරාජය කරමින් නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයට පිවිසි අතර විවේකානන්ද ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර පැවැත්වීමට තිබුනු අර්ධ අවසන් පූර්ව තරගයට ගුවන් භටයින් නොපැමිනීම හේතුවෙනුත් විවේකානන්ද ක්‍රීඩා සමාජය නිතරගයෙන්ම අවසන් පූර්ව වටයට පිවිසියේය.

දහවල් හිරු රැස් මධ්‍යයේ තරගය ආරම්භ වූ අතර තරගයේ ප්‍රථම අර්ධයේදී පෙරමුණ ගැනීමට සමත් වූයේ  විවේකානන්ද ක්‍රීඩකයෝය. එම වටය නිමාවට පත් වූයේ 25-24ක් ලෙසයි.

උදෑසන කාලයේදී අර්ධ අවසන් පූර්ව වටයටද සහභාගී වී සිටි නිව්ස්ටාර් ක්‍රීඩකයෝ යම් කිසි වෙහෙසකර ස්වභාවයක් පෙන්නුම් කලද, තරගයේ දෙවැනි වටයේදී විවේකානන්ද ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් 21-25ක් ලෙස ජයගනු ලැබූවේ නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය විසිනි.

තරගය එන්න එන්නම තියුණු ස්වභාවයක් ගත් අතර ප්‍රතිවාදීන්ගේ නැඟී එම හමුවේ මඳක් තිගැස්සුනු විවේකානන්ද ක්‍රීඩකයෝ තෙවැනි වටයද පරාජයට පත් වූයේ 17-25ක් ලෙසයි.

තරගයේ 2:0ක් ලෙස පෙරමුණ ගෙන සිටි නිව්ස්ටාර් ක්‍රීඩකයෝ වේලාසන තරගය නිමා කිරීමට තැත් කල අතර පිටියේ බොහෝ දෙනා කතා වූ පරිද්දෙන් සිවුවැනි වටයෙන් තරගය නිමා කරන්නට නිව්ස්ටාර් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ 25-18ක් ලෙසයි. කෙසේ නමුත් තරගයේ ආරම්භයේදී විවේකානන්ද කණ්ඩායම සතුව තිබුනු උද්වේගය තරගය අතරතුරදී නැති නොගිය නමුත් ඔවුන් අතින් සිදුවූ වැරදි කිහිපයක් ප්‍රතිවාදීන්ගේ ජයග්‍රහණයට පාර කැපූ බව පැවසිය යුතු අතර නිව්ස්ටාර් ක්‍රීඩා සමාජයට, සරත් මැණික් කණ්ඩායමට තිබුනා වැනි දිරිමත් කිරීම් පිටියෙන් ලැබීමත් ඔවුන්ට තරගය ජයග්‍රහණයට කරන්නට රුකුලක් වන්නට ඇති.

පිරිමි අර්ධ අවසන් පූර්ව තරග-

රත්නපුර සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා විජයබා රෙජිමේන්තුව  (3:1 සරත්)

මාදම්පේ නිව් සික්ස් ක්‍රීඩා සමාජය සහ වාසනා බේකර් ක්‍රීඩා සමාජය (3:2 ජය වාසනා)

නිව්ස්ටාර් A ගල්ගමුව, බෝයගනේ සහ ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුව (3:2 – නිව්ස්ටාර්)

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ වේවැස්ස විවේකානන්ද ක්‍රීඩා සමාජය (නිරතගයෙන් – වේවැස්ස)

අවසන් පූර්ව තරග –

වාසනා බේකර්ස් ක්‍රීඩා සමාජය සහ සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය
25/15, 25/20, 23/25, 26/28, 13/15 (3:2 සරත්)

විවේකානන්ද ක්‍රීඩා සමාජය සහ නිව්ස්ටාර් ගල්ගමුව ක්‍රීඩා සමාජය
25/24, 21/25, 17/25, 18/25 (3:1 නිව්ස්ටාර්)

කාන්තා අංශය

කාන්තා අංශයේ එක් අවසන් තරගයක් ඊයේ (13) පැවති අතර තවත් එක් තරගයක් අද උදෑසන පැවැත්විය.

ඊයේ සවස් කාලයේදී පැවති ගුවන් හමුදාව සහ කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය අතර තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ප්‍රථම අර්ධයේදීම තරගයේ පෙරමුණ ගත්තේ 25-22ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම විසිනි.

තරගයේ දෙවැනි අර්ධයේදී ඉතාමත් දක්ෂ අයුරින් ක්‍රීඩා කල ගුවන් සෙබලියෝ කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය අන්ත අසරණ කරමින් 11-25ක් ලෙසින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

කෙසේනමුත් තරගයේ තෙවැනි වටය හාත්පසින්ම වෙනස් එකක් වූයේ ගුවන් ක්‍රීඩිකාවන් හට තියුණු තරගයක් ලබා දෙමින් කැෂුවල් ලයින් ක්‍රීඩිකාවෝ 25-13ක් ලෙස එම තරග වටය ජයග්‍රහණය කිරීමයි.

තරගයේ සිව්වැනි වටයේදී ද එවැනිම ජයග්‍රහණයක් අපේක්ෂා කල කැෂුවල් ලයින් ක්‍රීඩිකාවෝ අඩපන කරමින් ගුවන් සෙබලියෝ 19-25ක් ලෙස තරගය නිමා කරමින් අවසන් මහා තරගයේ ප්‍රවේශපත්‍රය වෙන් කරගන්නා ලදී.

තරගයේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය අද උදෑසන තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවැත්වූයේ බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතරයි. වයසින් යුධ හමුදා ක්‍රීඩිකාවන්ට වඩා ලාබාල වූ සිරිපැරකුම් ක්‍රීඩකාවන් සැදුම්ලත් වූයේ වොලිබෝලයට දක්ෂතා දක්වන පාසලක් වන ගලිගමුව මධ්‍ය මහා විදුහල් ක්‍රීඩිකාවන් පිරිසක් ද විසිනි. කෙසේ නමුත් තරගයේ ප්‍රථම වටයේදීම පරාජයක් ලබා ගන්නට සිරිපැරකුම් ක්‍රීඩිකාවන්ට සිදුවිය. ඒ 20-25ක් ලෙසිනි.

කෙසේනමුත් දෙවැනි වටයේදී පටන් ප්‍රතිවාදීන් අඩපන කරමින් සිරිපැරකුම් ක්‍රීඩකාවෝ හරඹ පාන්නට සමත් වූ අතර දෙවැනි වටය නිමාවට පත් වූයේ 25-17ක් ලෙස සිරිපැරකුම් ක්‍රීඩිකාවෝ ඉදිරියට එමිනි.

තරගයේ තෙවැනි සහ සිව්වැනි වටයන් එකම ලකුණු සංඛ්‍යාවක් හෙවත් 25-13ක් ලෙස වාර්තා කරමින් අවසන් සටනේ අසුන් වෙන්කරගැනීමට දක්ෂ සිරිපැරකුම් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගයේ අවසන් මහා තරගය එළඹෙන 25වැනි දා එනම් නොවැම්බර් මස 25 වැනිදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර සහතික පත්‍ර ප්‍රදානය ජනාධිපති තුමාගේ ප්‍රදානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

කාන්තා අර්ධ අවසන් පූර්ව තරග-

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ MAS Linia ක්‍රීඩා සමාජය (3:2 – ගුවන්)

බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම (3:1 – සිරිපැරකුම්)

ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සහ Casual line ක්‍රීඩා සමාජය ක්‍රීඩා සමාජය (3:2 – Casual line)

කාන්තා අවසන් පූර්ව තරග-

ගුවන් හමුදා කණ්ඩායම  සහ කැෂුවලයින් ක්‍රීඩා සමාජය
25/22, 25/11, 13/25, 25/19 (3:1 ගුවන්)

බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය
20/25, 25/17, 25/13, 25/13 (3:1 සිරිපැරකුම්)

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටියට