ඔවුන් අපිට අඟලක්වත් දුන්නේ නැහැ – Williamson

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

4304

“බලාපොරොත්තු කඩ වුනා”, විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ගැන අදහස් දක්වමින් නවසීලන්ත නායක Kane Williamson පවසා සිටියා. මේ නවසීලන්තය ICC තරගාවලියක අවසන් මහා තරගයක් පරාජය වූ තෙවැනි වතාව වීම විශේෂත්වයක්.

2015 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය මෙන්ම 2019 වසරේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයත්, ඔවුන් ඕස්ට්‍රේලියාව හමුවේ හා එංගලන්තය හමුවේ පරාජය වුනා. කෙසේ වෙතත් වත්මන් ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ශූරයින් වන්නේ නවසීලන්තයයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනා ගත්තේ පළමු වරට වීම විශේෂත්වයක්.

ක්‍රීඩා කරනකොට ඔබ දිනනවා වගේම පරාජය වෙනවා. මේ දේවල් ඕනෑම දවසක වෙන්න පුළුවන්”, Williamson පවසා සිටියා. “ඕස්ට්‍රේලියාව ලකුණු හඹා ගිය ආකාරයට ඔවුන්ට ගෞරවය හිමිවෙන්න ඕනේ. ඔවුන් අපිට අඟලක් වත් ඉඩ ලබා දුන්නේ නැහැ. නමුත් අපි ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව සතුටු වෙන්න පුළුවන්.”

මුළු තරගාවලිය දිහාම බැලුවම අපි ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ආඩම්බර වෙන්න පුළුවන්. ඔබ අවසන් මහා තරගයකට ආවාම ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.”

Williamson තවදුරටත් පවසා සිටියේ 2019 වසරේ එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේ පරාජය මීට වඩා වේදනාත්මක වූ බවයි. එමෙන්ම අවසන් ICC තරගාවලි හයෙන් තරගාවලි හතරකම අවසන් මහා තරගයට පැමිණීමට හැකි වීම ගැන ද ඔහු අදහස් පළ කළා.

ඒ ගැන ගොඩක් ධනාත්මක දේවල් කියන්න පුළුවන්. අපි තවම කණ්ඩායමක් ලෙස ගොඩ නැගෙමින් සිටිනවා.”

අවසන් තරගය ගැන අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඕස්ට්‍රේලියානුවන් පන්දුවට පහර දෙන විට නවසිලන්ත පන්දු යවන්නන්ට කඩුලු දවා ගැනීමේ අවස්ථා නිර්මාණය නොකළ බවයි.

ක්‍රීඩකයින් මහන්සි වුනා හොඳ තරගකාරී ලකුණු ගණනක් රැස් කරන්න. නමුත් අපිට පන්දු යවද්දී ඇති තරම් කඩුලු දවා ගන්නට අවස්ථා නිර්මාණය කරන්නට බැරි වුනා. ඕස්ට්‍රේලියානුවන් ලකුණු හඹා යෑම විශිෂ්ට විදියට කළා. ඔවුන් ඉතා හොඳ තරගාවලියක් ක්‍රීඩා කළා. ඔවුන් හොඳ කණ්ඩායමක්. ලෝක කුසලානය ලැබීමට සුදුසු කණ්ඩායමක්.”

Times Of India ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<