ගුවන් – යුද සහ විදුලිබල වොලිබෝල් අවසන් මහා තරගවලට

Munchee National Super League Volleyball Championship

170

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය සංවිධානය කරන මන්චි ජාතික සුපර් ලීග් වොලිබෝල් ශූරතාවය 2022 (Munchee National Super League Volleyball Championship) තරගාවලියේ අවසන් මහා තරග මේ මස 28 වැනිදා (හෙට) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

සුපර් ලීග් කාන්තා අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව සුදුසුකම් ලබා ඇති අතර එම තරගය පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතයි.

සුපර් ලීග් පිරිමි අවසන් මහා තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ලංකා විදුලිබල මණ්ඩලය සමඟ පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් ම ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් එවන් අවස්ථාවක් උදා කර ගත්තේ වසර 10කට පසුවයි. කෙසේ වෙතත් පසුගිය වසරේ දී පිරිමි ශූරතාව ලංකා විදුලිබල මණ්ඩලය සතු ව පැවැතෙන හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයන්ට මෙම තරගයේ දී වැඩි දහඩිය හෙළීමකට සිදු වෙනු නොඅනුමානයි.

ගියවර සේ ම මෙවර ද කාන්තා ශූරතාව වෙනුවෙන් සටන් වදින්නේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන කණ්ඩායම් දෙකයි. ඒ අනුව ගියවර ශූරියන් වු යුද හමුදාව මෙවර පරාජය කිරීමට නම් ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට අමතර වෙහෙසක් ද දැරිය යුතු වෙනවා.

 කාන්තා තරගාවලිය

මෙම තරගාවලිය සඳහා දිවයිනේ සුප්‍රසිද්ධ කණ්ඩායම් 5ක් සහභාගී වුනා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, හයිඩ්‍රාමනී, වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එම කණ්ඩායම්. මෙම සියලු තරග ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවතියා.

එහි A කාණ්ඩයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සහ හයිඩ්‍රාමනී කණ්ඩායම් ද, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වරාය අධිකාරිය කණ්ඩායම් සහභාගී වුනා.

A කාණ්ඩයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සහ හයිඩ්‍රාමනී කණ්ඩායම් අතර පැවති තරගයෙන් තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් වුනා. ලකුණු තත්ත්වය කියැවුණේ 25-21ක්, 25-22ක් සහ 25021ක් ලෙසයි. ඒ අනුව යුද හමුදාව තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ම අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම

B කාණ්ඩයේ පළමු තරගය ලෙසින් පැවතියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ වරාය අධිකාරිය කණ්ඩායමයි. එම තරගයෙන් ලකුණු 3-0ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වුනා. ලකුණු තත්ත්වයන් කියැවුණේ 25-9ක්, 25-20ක් සහ 25-17ක් ලෙසයි.

එහි දෙවැනි තරගයේ දී එකිනෙකා හමු වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම්. එම තරගයේ ප්‍රතිඵලය තීරණය වූයේ ද 3-0කින්. එහි ජයග්‍රාහකයා වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ලකුණු තත්ත්වය 25-15ක්, 25-23ක් සහ 25-14ක් ලෙසයි.

තෙවැනි තරගය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර පැවැත්වුණා. එහි දී නාවික හමුදා ක්‍රීඩකයෝ තරග වට 3-0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වෙන්නේ 25-20ක්, 25-20ක් සහ 25-21ක් ලෙසින්.

එම ප්‍රතිඵල ද සමඟින් අවසන් පූර්ව තරග සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව පළමුවෙන් ම හමුවෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව සම ශ්‍රී ලංකා නාවික හමුදාවයි. මෙම තරගය අතිශය වැදගත් වීම හේතුවෙන් දැඩි තරගකාරීත්වයෙන් ද හෙබි වූවා. තරගයේ පළමු වටයේ දී ලකුණු 25-21ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුනා.

නමුත් එතැන් සිට තම තියුණු ප්‍රහාරයන් සහ ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කළ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩිකාවෝ 25-23ක්, 25-20ක් සහ 25-15ක් ලෙසින් ජයග්‍රහණය කරමින් 3-1ක ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අනෙක් අන්තයෙන් දෙවැනි අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය අතර තරගය ද එවැනි ම තරගකාරීත්වයකින් යුක්ත වුනා. පළමු වටයේ දී 25-22ක් ලෙසින් ද, දෙවැනි වටයේ දී 25-23 ලෙසින් ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වුනා.

එතෙක් පසුගාමී තරග රටාවක නියුතු වූ හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවෝ තෙවැනි වටයේ දී ලකුණු 25-23ක ජයග්‍රහණයක් කිරීමට සමත් වෙනවා. එසේ වූවත් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ පෙර තම පළපුරුදු ප්‍රයෝජනයට ගනිමින් තරගය ජයග්‍රහණය කරන්නේ 25-13ක් ලෙසින් ලැජ්ජාවට ද පත් කරමින්.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම

පිරිමි තරගාවලිය

මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රබල කණ්ඩායම් 7ක් සහභාගී වීම කැපී පෙනුණා. ඒ අනුව විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ඕෂන් ලංකා, පොලිස් වොලිබෝල් කණ්ඩායම සහ වරාය අධිකාරිය කණ්ඩායම ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එකිනෙකා පළමු වටයේ දී හමුවුනා.

ඒ අනුව පැවති තරගවල දී ජයග්‍රහණ බෙදී ගියේ මේ ආකාරයෙන්,

  • විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර තරගයෙන් 3-0ක ජයග්‍රහණයක් විදුලිබල මණ්ඩලයට (25-12, 25-20 සහ 25/18)
  • ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් 4-1ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා යුද හමුදාවට (23-25, 25-22, 25-20 සහ 25-19)
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පොලිස් කණ්ඩායම අතර තරගයෙන් 3-0ක ජයග්‍රහණයක් ගුවන් හමුදා කණ්ඩායමට (25-16, 25-11 සහ 25-13)
  • වරාය අධිකාරිය සහ නාවික හමුදා කණ්ඩායම අතර තරගයෙන් 3-0ක ජයග්‍රහණයක් වරාය අධිකාරිය කණ්ඩායමට (25-21, 25-18 සහ 25-21)
  • ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට 3-0ක ජයග්‍රහණයක් (25-21, 25-13 සහ 25-8)
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඕෂන් ලංකා කණ්ඩායම අතර තරගයෙන් ගුවන් හමුදා කණ්ඩායමට 4-1ක ජයග්‍රහණයක් (25-20, 20-25, 25-20 සහ 25-23)
  • විදුලිබල මණ්ඩලය සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර තරගයෙන් විදුලිබල කණ්ඩායමට 4-1ක ජයග්‍රහණයක් (18-25, 25-19, 25-23 සහ 25-22)
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට 3-1ක ජයග්‍රහණයක් (23-25, 25-17, 25-16 සහ 25-23)

මෙම මූලික වටයේ තරගවලින් අනතුරුව අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩලය කණ්ඩායම් ඉදිරි තරග සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ගුවන් හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායම

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව සහ විදුලිබල මණ්ඩලය කණ්ඩායම් පළමු අවසන් පූර්ව තරගයට සහභාගී වූ අතර එහි දී තරග වට 4-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට විදුලිබල මණ්ඩලීය කණ්ඩායම සමත් වුනා. ලකුණු පුවරුව කියැවුණේ 23-25ක්, 25-23ක්, 25-22ක් සහ 25-20ක් ලෙසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ වරාය අධිකාරිය කණ්ඩායම් දෙවැනි අවසන් පූර්ව වටයට එක් වූ අතර එහි දී තරග වට 3-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් වුනා. එහි දී 23-25ක්, 25-15ක්, 25-21ක් සහ 25-22ක් ලෙසින් තරග නිමා වුනා.

මෙම ප්‍රතිඵලත් සමඟින් විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය

ඒ අනුව හෙට (28) පැවැත්වීමට නියමිත තරගවල දී ගුවන් ප්‍රහාර හමුවේ යුද සහ විදුලි අඩපණ වේ ද? නොඑසේ නම් යුද සහ විදුලි ප්‍රහාරයන් හමුවේ ගුවන් හමුදාව අසරණ වේ ද?

තරගාවලියේ අවසන් මහා තරගයේ විස්තර සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<