වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය මෙවර අලුත් විදිහකට

වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය 2022

257

ශ්‍රී ලංකා වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ 9 වැනි අදියර සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙරට වෙළඳ ආයතන අතර සුහදතාවය සහ සහෝදරත්වය වර්ධනය කිරීම, ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට හඳුන්වා දීමට මෙන්ම වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කරවීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබනවා.

කොරෝනා වසංගත තත්වයෙන් පසුව පෙර වර්ෂවලට සාපේක්ෂව නවමු ආකාරයකින් මෙවර තරගාවලිය සංවිධානය කිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ් අනුව මෙවර තරගාවලිය MVA Pro සහ ආධුනික (කාන්තා සහ පිරිමි) ලෙස කාණ්ඩ දෙකක් ඔස්සේ පැවැත්වීමට නියමිත අතර සියලුම තරග ජාත්‍යන්තර වොලිබෝල් නීතිරීති අනුව සංවිධානයක කරනු ලබනවා.

තරගාවලියේ ශූරතා සහ අනුශූරතා දිනා ගන්නා කණ්ඩායම් සඳහා කුසලාන සහ සහතික පත්‍රවලට අමතරව සම්පූර්ණ තරගාවලිය සඳහා රු. මිලියනයකට අධික වටිනාකමකින් යුත් ත්‍යාග මුදල් ලබා දීමට සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ තරග සැප්තැම්බර් 17 සහ 18 දිනවල දඩැල්ල වොලිබෝල් හවුස් හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර අවසන් මහා තරග නොවැම්බර් මාසයේ මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2022 ජූලි 30 වැනි දිනට පෙර සේවයට බැඳුණු සේවක සේවිකාවන් සඳහා තරගාවලියට ක්‍රීඩා කළ හැකි අතර www.mva.lk වෙබ් අඩවියෙන් අයැදුම් පත්‍රය ලබා ගත හැකි. තරගාවලිය සඳහා ලියාපදිංචි වීම සඳහා නිරවද්‍ය ලෙස සම්පූර්ණ කරන ලද අයැදුම් පත්‍රය සැප්තැම්බර් 8 වැනිදාට පෙර, “වෙළඳසේවා වොලිබෝල් සංගමය, අංක 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 7” යන ලිපිනයට යොමු කළ යුතුයි.

වැඩි විස්තර සඳහා අමතන්න 071 0682 682 (චන්දන විජේසිංහ) හෝ 076 5498 086 (තාරා). එසේ නැතිනම් www.mva.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත ගෙන ඒ්මට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<