Gangulyට තවත් හෘදයාබාධයක්

221

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී හිටපු ඉන්දීය නායක Saurav Ganguly නැවතත් රෝහල්ගතව ඇති බව වාර්තා වනවා. හදිසි හෘදයාබාධයක් නිසා ඔහු මෙලෙස රෝහල්ගතව ඇති බව ඉන්දීය මාධ්‍ය අද (28) තහවුරු කළා.

මෙම වසරේ ජනවාරි මාසයේ දී ඔහුට හෘද සැත්කමක්ද සිදුකර තිබුණු අතර එම සැත්කමෙන් මාසයක් ගත වීමටත් පෙර ඔහු මෙලෙස නැවත රෝහල්ගත වීම විශේෂත්වයක්.

මේ වන විට 48 හැවිරිදි වන Saurav Ganguly ජනවාරි මස 02 වැනිදා රෝහල් ගත කෙරුණේ එදින උදෑසන සිදු කළ කායවර්ධන ව්‍යායාම අතරතුර ඇතිවූ පපුවේ වේදනාවක් නිසාවෙනි. ඉන් අනතුරුව සිදු කළ පරීක්ෂණවල දී ඔහුගෙ හෘදයේ කපාට තුනක් අවහිර වී ඇති බව වෛද්‍යවරුන් සනාථ කළා. 

මේ පිළිබඳව සලකා බැලූ Apollo Gleneagles රෝහලේ වෛද්‍යවරුන් ඔහුව හදිසි සැත්කමකට ලක් කළ යුතු බව නිර්දේශ කළා. ඒ අනුව ඔහුට සැත්කමක් සිදු කෙරුණා.

කෙසේ වෙතත් ඉන් පූර්ණ සුවය ලැබූ Saurav Ganguly සිය සාමාන්‍ය රාජකාරි කටයුතු ආරම්භ කළ බව ද ඉන්දීය මාධ්‍ය පසුගිය සතියේ දී වාර්තා කළා.

ඊයේ සවස ඔහුට නැවතත් ක්ලාන්ත ගතියක් සහ පපුවේ වේදනාවක් ඇතිවී තිබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු රෝහල වෙත ඇතුළත් කළ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය පුවත්පත් වාර්තා කළා.

තවත් ක්‍රිකට් පුවත්:

“යම් පපුවේ වේදනාවක් නිසා Saurav Ganguly මහතා අපගේ රෝහලට ඊයේ සවස ඇතුළත් කළා. වෛද්‍ය Saptarshi Basu සහ වෛද්‍ය Saroj Mondal මේ වෙලාවේ ඔහුව පරීක්ෂා කරමින් ඉන්නවා. වෛද්‍ය Aftab Khan යටතේ stent ශල්‍යකර්මයකට ඔහුව භාජනය කරන්න නියමිතයි. හෙට පැවැත්වෙන ඒ ශල්‍යකර්මයට වෛද්‍ය Devi Shetty ද එක්වෙනවා” Woodlands රෝහල නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා.

මේ අතර Apollo Gleneagles රෝහලද නිවේදනයක් නිකුත් කර තිබූ අතර ඔවුන් පවසා සිටියේ Gangulyගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතින බවයි.

දෙවන වරට රෝහල්ගත වීමෙන් අනතුරුව සිදු කළ ECG පරීක්ෂණයේ දී Gangulyගේ හෘදයේ සුළු වෙනස්වීම් කීපයක් නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අනුව ඔහු නේවාසිකව ප්‍රතිකාර ලැබීමට නියමිතයි. 

Saurav Ganguly රෝහල් ගතකිරීමට සූදානම් බව වාර්තා වීමත් සමඟින් ක්‍රියාත්මක වූ කොල්කටා පොලිසිය ඔහුගේ රථයට පහසුවෙන් රෝහල කරා යාමට හැකිගන පරිදි Behala Residence සිට රෝහල දක්වා විශේෂ ආරක්ෂාවක් සපයා තිබුණා. මාර්ග කීපයක් වසා දමමින් විශේෂ මාර්ගයක් ඔස්සේ ඔහුව රැගෙන ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Gangulyගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නව දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් පත්කර ඇති අතර එයට හෘද රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් කීපදෙනෙකු ද ඇතුළත් වෙනවා.

වසර 16කට ආසන්න කාලයක් ඉන්දියානු කණ්ඩායමට සිය සේවාව සැපයූ Sourav Ganguly එරට නියෝජනය කරමින් ටෙස්ට් තරග 113කට සහ එක්දින තරග 311කට දායකත්වය ලබා දුන් අතර එරට ජාතික කණ්ඩායමේ නායකත්වය ද දැරූ ඔහු එරට බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස ද සැලකේ.

එමෙන්ම සමුගැනීමෙන් පසුව 2015 වසරේ සිට බෙංගාල ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය දැරූ Sourav Ganguly, 2019 වසරේ දී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. ඔහු මේ දක්වා එහි සභාපති ලෙස කටයුතු කරනවා.

Gangulyගේ රෝහල්ගත වීම වාර්තා වීමෙන් අනතුරුව බොහෝ දෙනෙකු ඔහුට ඉක්මන් සුවය පතා පණිවිඩ තබා තිබුණා.

Times of India පුවත්පත ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<