පිරිමින්ට විතරද? අපිටත් පුළුවන්!

2234

2017 කාන්තා ලෝක කුසලානය ඊයේ (23) අවසන් වුනේ ඉන්දියානු කණ්ඩායමට පරාජය අත්කර දෙමිනි. එහිදී එංගලන්ත ක්‍රීඩිකාවන් ලකුණු 9කින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර ක්‍රීඩිකාවන්ගේ දස්කම් තුළින් තරගාවලිය අවසානයේදී ශ්‍රී ලංකා කාන්තාවන් සහ ලෝක කාන්තාවන් උගත් පාඩම් මොනවා දැයි ආපසු හැරී බලමු.

චමරි අතපත්තු – 178*,  ඕස්ට්‍රේලියාවට එරෙහිව

ශ්‍රී ලංකාවේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම අනෙකුත් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් හා සැසඳීමේදී හයේ පහරවල්වලින් ලබන ලකුණු ප්‍රමාණය අඩු ය (දැන් එය වෙනස්වීමට පටන් ගෙන තිබේ). එහෙත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඒ අතින් වාසනාවන්තය.

Courtesy - Twimg.com
Courtesy – Twimg.com

එශානි ලොකුසූරිය, චමරි පොල්ගම්පොල, චමරි අතපත්තු වන් ක්‍රීඩිකාවන් අප සතුය. චමරි විසින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 178 මෙහිදී විශේෂ වන්නේ එය තරගාවලිය පුරාම ක්‍රීඩිකාවක විසින් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව නිසා පමණක් නොව ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ඉනිමක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය එය වීම නිසයි. ලකුණු 50ක් 100ක් ලබාගෙන ඉනිමක් අවසන් නොකොට තරගයක අවසානය දක්වා සටන් කිරීම මෙහිදී ඈ විසින් ලොවට දුන් පණිවිඩයයි. ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත පහරවල් සෑම එකක්ම දැකුම්කළු නැතැයි මෙහිදී ඔබට සිහිපත් කරමු. එහෙත් එම ඉනිම තුළදී චමරි වාර්තා කළ පහරවල් දැවැන්ත මෙන්ම දැකුම්කළු පහරවල් විය.


ඩිලානි මනෝධරා – 84, පාකිස්තානයට එරෙහිව

Courtesy - Amazonaws.com
Courtesy – Amazonaws.com

ඇය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කඩුලු රකින්නියයි. එමෙන්ම අත්දැකීම් සමඟ තම පිතිකරණය දියුණු කරගත් ක්‍රීඩිකාවක ලෙස ඇයව හැඳින්විය හැක. පාකිස්තානයට එරෙහිව ලෝක කුසලාන සවාරියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයේදී මනෝධරා ලබාගත් ලකුණු 84 සටන්කාමී එකකි. ශ්‍රී ලංකාව ලකුණු 98කට කඩුලු 5ක් දැවී අපහසු අඩියක සිටියදී තරගය ඉදිරියට ගෙනගිය ඇය ලකුණු 221ක් කරා ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට අඩිතාලම දැමුවාය. පිරිමි තරගවලදී රසල් ආනෝල්ඩ්, ඇන්ජලෝ මැතිව්ස් ආදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද මෙවන් දස්කම් දක්වනු අප දැක තිබේ.


ස්ම්රිති මන්දනා – 90 සහ 106, එංගලන්තයට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව

Courtesy - Scooptimes.com
Courtesy – Scooptimes.com

බොහෝ දෙනා ඇලුම් කරන්නේ ඇගේ සුන්දර මුවගටයි. එහෙත් ඒ සුන්දරත්වයට එහා ගිය ක්‍රිකට් දස්කම්වලින් සපිරි මේ 21 හැවිරිදි තරුණියට එංගලන්තයට එරෙහිව ලකුණු 90ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ පන්දු 72ක් පමණකි. එහෙත් ශ්‍රී ලාංකික අපට වැදගත් වන්නේ එය නොවේ. ඉන්දියානුවෙකු වන ඇගේ සිත්ගත් වමත් පිතිකරුවා කුමාර් සංගක්කාර වීම අපට වැදගත් ය. නවක ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ක්‍රිකට් ලොවේ දැවැන්තයෙකුගෙන් උගත හැකි පාඩම් කෙතරම් දැයි ඇය පැහැදිලි කළාය. ඇයට පුහුණුවීම් අතරතුරදී යම් පහරක් තිතටම එල්ල කළ නොහැකි නම් ඇය පුහුණුවීම් නවත්වන්නේ නැතැයි ඇගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් කීවේය. එය ඈ විසින් උකහාගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරගෙනි.


හර්මන්ප්රීත් කෝර් – 171*, ඕස්ට්‍රේලියාවට එරෙහිව

Courtesy - Imgci.com
Courtesy – Imgci.com

ඇයගේ ලකුණු 171 වාර්තා වූයේ පන්දු 115ක් තුළයි. කිසිදු දුර්වල පන්දුවක් නිදැල්ලේ නොහැරි ඇය විසින් එල්ල කළ හයේ පහරවල් ගණන 7කි, හතරේ පහරවල් ගණන 20කි. අවසන් පන්දුව තෙක්ම කිසිදු අපහසුවකින් තොරව කඩුලු අතර දිවගිය ඇගේ ශාරීරික යෝග්‍යතාවය මෙහිදී කැපීපෙනිණ.

.

.

.

.


ඩේන් වැන් නීකර්ක් – තරග 7, කඩුලු 15

Courtesy - Newsapi.com.au
Courtesy – Newsapi.com.au

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියෝජනය කළ ඇය පා දඟපන්දු යවන්නියකි. තරගාවලිය පැවැත්වුණු එංගලන්තයේ තණතිලි සාමාන්‍යයෙන් වේගපන්දු යවන්නන් සඳහා සුදුසු බව අපි දනිමු. එහෙත් ඒ බව නොසලකා ඇය සාර්ථක පන්දු යැවීමක නිරත වූ අතර එක් තරගයකදී කිසිදු ලකුණක් නොදී කඩුලු 4ක් දවාලීමටද සමත් විය. ලෝක කුසලාන තරගාවලියේ තරග 7 තුළ තෙවරක් කඩුලු 4 බැගින් දවා ගන්නටද ඇයට හැකි විය.


ශ්‍රීපාලි වීරක්කොඩි – තරග 7, කඩුලු 8

Courtesy - Globalcricketcommunity.com
Courtesy – Globalcricketcommunity.com

ශ්‍රීපාලි ශ්‍රී ලංකාවෙන් බිහි වූ මඳවේග පන්දු යවන්නියකි. ශ්‍රී ලංකාව තුළදී ලත් සුළු අත්දැකීම්වලින් එංගලන්තයේදී දැක්වූ මෙම දස්කම ගැන අප සැබවින්ම සතුටු විය යුතුය. ඇය තරග දෙකකදී කඩුලු 3 බැගින් ලබා ගන්නට සමත් වූවාය.

.

.

.

.


මිතාලි රාජ් – එක්දින ලකුණු 6000, පිට පිට අර්ධ ශතක 7

Courtesy - Indiatimes.com
Courtesy – Indiatimes.com

මෙම තරගාවලිය තුළදී පිට පිටම අර්ධ ශතක 7ක් වාර්තා කරමින් එවැන්නක් සිදු කළ පළමු කාන්තාව වූ මිතාලි, එක්දින ලකුණු 6000 පසුකළ පළමු කාන්තාව බවටද පත්විය. දස්කම් යනු එක තරගයකදී පෙන්වා අවසන් කළ යුත්තක් නොවේ. එය ඇය විසින් පැහැදිලි කළ පළමු කරුණයි. එමෙන්ම මේ අර්ධ ශතක 7ත් සමඟින් වසරකදී අර්ධ ශතක 10ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩිකාව වීමටද මිතාලි රාජ් සමත් වූවාය. වාර්තා පිට වාර්තා බිඳහෙලීම ඇගේ විනෝදාංශයක් වැනියි.


ටැමී බියුමොන්ට් – සේරා ටේලර්, ලකුණු 275 සම්බන්ධතාවය

Crictracker.com
Crictracker.com

දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් මෙම එංගලන්ත තරුණියන් දෙදෙනා විසින් වාර්තා කරන ලද ලකුණු 275 සම්බන්ධතාවය කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ දෙවන වැඩිම ලකුණු සම්බන්ධතාවයයි. මීට සේරා ටේලර් විසින් වාර්තා කළ ලකුණු 147ක් සහ බියුමොන්ට් විසින් වාර්තා කළ ලකුණු 148ක් ඇතුළත් විය.

මෙවන් දස්කම් මැද ක්‍රියාත්මක වූ තරගාවලිය අතිශය සාර්ථක එකක් විය. එහි ශ්‍රී ලංකා ගමන අසාර්ථක වූවත් ඉන් උපයා සපයා ගත හැකි දේ බොහෝය. පිරිමින්ගේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින මට්ටම වෙත කාන්තාවන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ද වේගයෙන් පැමිණෙන බව නම් එයයි.

ක්‍රීඩිකාවන්ට දැන් අදහසක් තිබෙනවා ඔවුන් වඩා හොඳ ක්‍රිකට් ක්‍රීඩිකාවන් වීමට කුමක් කළ යුතුද කියලා” ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා ඩේලි නිව්ස් පුවත්පත හමුවේ අදහස් දක්වා තිබුණි.

“ප්‍රධාන කාන්තා පාසල්වල ක්‍රිකට් ක්‍රීඩා කිරීම අපව උනන්දු කරවන සුළුයි. දැනට ලංකාවේ ක්‍රීඩිකාවන් 2500ක් විතර ඉන්නවා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට්, කාන්තාවන්ගේ ක්‍රීඩාව වර්ධනය කිරීමට වෙහෙස වෙනවා.” දේවප්‍රිය මහතා එකතු කළේය.

තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව කොහි හෝ දැකිය හැකි නම් එය සතුටුදායක ය. පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ටද එය කළ හැකිය. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වැනි කණ්ඩායම් ක්‍රීඩා කරන ආකාරය සහ ඔවුන් ඒ වෙනුවෙන් යටිතල පහසුකම් නංවන ආකාරය අධ්‍යනය කළහොත් ශ්‍රී ලංකා කාන්තාවන්ගේ දක්ෂතා නැංවීමේ ක්‍රමය කුමක්ද යන්න පිළිබඳ දල අදහසක් මෙරටට ද ගත හැකිය.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න