අවාසනාවන්ත අයුරින් ජීවිතයෙන් සමුගත් ක්‍රිකට් විරුවන්

668
Courtesy - Getty Images

මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වී ශතවර්ශයකට අධික කාලයක් ගතව ඇත. මේ දීර්ඝ කාලය තුළ විවිධ කණ්ඩායම් වලට අයත් දක්ෂ ක්‍රීඩකයන් සිය ගණනක් ප්‍රේක්ෂකයන්ගේ නෙත ගැටෙන්නට ඇති බව නොඅනුමානය. මොවුන්ගෙන් සමහරක් තම දක්ෂතාවයට උපරිම සාධාරණයක් ඉටුකරමින් ක්‍රිකට් ඉතිහාසය නැවත ලියූ අතර සමහරකට තරග තහනම් පැනවීම, විවිධ ආබාධ ආදිය නිසා ඒ තත්වයට යන්නට නොහැකි වුණා.

ලෝක කුසලානයේ කිවි සලකුණ – නවසීලන්තය

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ….

ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ මිනිසුන්ගේ රුධිරය හා බැඳී තිබුණත් අවාසනාව යන කරුණ මත ක්‍රිකට් ක්‍රීඩාවට අහිමිවූ ක්‍රීඩකයන් ද ඇත. අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරළියක් කිරීමට සිටි බොහෝ ක්‍රීඩකයන්ට තම ක්‍රිකට් දිවිය අතරතුර ඉතාමත් අවාසනාවන්ත අයුරින් තම ජිවිතයෙන් සමුගැනීමට සිදුවූ අවස්ථා ඇත. තමන්ගේ රට වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබියදී තමන්ගේ ජීවිතයෙන් සමු ගන්නට ක්‍රීඩකයෙක්ට සිදු වුණොත් ඒක කොයි තරම් අවාසනාවක්ද? ඒ වගේම ඔහුගේ රටට, ප්‍රේක්ෂකයින්ට කොයි තරම් බලවත් කණගාටුවක්ද?

ස්ටැන්ලි ද සිල්වා – ශ්‍රී ලංකාව (වයස අවුරුදු 23)

වර්ෂ 1956 වසරේ නොවැම්බර් මස 17 වන දින අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපත ලබන ස්ටැන්ලි ද සිල්වා වේග පන්දු යවන්නෙකු ලෙස මහින්ද විද්‍යාලයට ක්‍රීඩා කරනු ලැබුවා. මොහු එවකට හැඳින්වූයේ ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලද කාලයක අනිවාර්යයෙන්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති ක්‍රීඩකයෙක් ලෙසටයි. මේ බව තවත් සනාථ කරමින් 1979 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතයට තේරී  පත්වෙන ස්ටැන්ලි ඒ වනවිට 22 හැවිරිදි දක්ෂ වේගපන්දු යවන්නෙකුව සිටියා. ඔහුට ලැබුණු එක්දින තරග දෙකම ඔහු හොඳින් ක්‍රීඩා කළා. විශේෂයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ඉන්දීය තරගයේ තීරණාත්මක කඩුල්ලක් වන කපිල් දේව් ගේ කඩුල්ල ලබා ගන්නේ ස්ටැන්ලි ද සිල්වා විසිනුයි.

වර්ෂ 1980 ආරම්භය වනවිට ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබීමේ එළිපත්තේ සිටියා. තවමත් වයස 23ක් වූ ස්ටැන්ලිට පැහැදිලිවම තවත් වසර 15 ක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමේ හැකියාව තිබුණු නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ සිහිනය ඔහුගෙන් ඒ තරම් දුර එකක් වුණේ නැහැ. නමුත් ඔහුගේත්, රටේ සියලුම ජනතාවගේත් සිහින බොඳ කරමින් 1980 සිංහල-දෙමළ අලුත් අවුරුද්ද ලබන්නට දින දෙකක් තිබියදී මොහුගේ යතුරු පැදිය බලපිටියේදී අනතුරට ලක්වෙන්නේ ස්ටැන්ලිගේ ජීවිතයට නැවතීමේ තිත තබමින්. ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට එක්වෙන්නට තිබුණු රන්වන් පිටුවක් එලෙසින් උපන් ගෙයිම ගිලිහී යනවා.

ක්‍රිකට් ලොව ‘ලිලිපුට්ටන්’ ගලිවර්ට ගැහුව ගැහිල්ල

ශ්‍රී ලංකාවේ එක්දින තරග ආරම්භය සහ ලෝක …..

හැන්සි ක්‍රොන්යේ දකුණු අප්‍රිකාව (වයස අවුරුදු 32)

දකුණු අප්‍රිකාවෙන් බිහිවූ දක්ෂ නායකයෙක් වගේම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන හැන්සි ක්‍රොන්යේ 2000 වසරේදී මුදලට තරග පාවාදීමකට හසුවෙනවා. ඔහු විසින් මුදලට තරග පාවාදීමේ වරද පිළිගනු ලැබීමත් සමඟ ඔහුව ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වෙනවා. ඊට අවුරුදු දෙකකට පසු එනම් 2002 දී ඔහු ගමන් කළ කුඩා ගුවන් යානයක් හදිසියේම කඳුකර පෙදෙසකට කඩාවැටී ඔහු මරණයට පත්වෙනවා.

ඒ වනවිට තරග පාවාදී ප්‍රේක්ෂක ගැරහුමට ලක්ව සිටියත් ඔහුගේ මරණය දකුණු අප්‍රිකාණුවන් සංවේගයට පත්කළේ ඊට පෙර ඔහු සිය රට වෙනුවෙන් දැක්වූ දස්කම් නිසයි. මිය යනවිට 32 වියේ පසුවුනු ක්‍රොන්යේ එවකට තහනමකට ලක්ව සිටියත් තවත් අවුරුදු 6 ක පමණ කාලයක් ක්‍රිකට ක්‍රීඩාවේ නිරත වීමට තරම් ශරීර යෝග්‍යතාවක් ඔහු තුළ තිබුණා.

හඬා වැලපෙමි නෙලා ගනු හැකි World Cup සිහිනේ

අවුරුදු 44ක ලෝක කුසලාන ඉතිහාසයේ කිසිදු …..

පිලිප් හියුස් ඕස්ට්‍රේලියාව (වයස අවුරුදු 25)

පිලිප් හියුස් යන නම ඇසූ පමණින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට එක විටම මතකයට නැගෙන්නේ අවාසනාවන්ත අයුරින් ජීවිතයෙන් සමුගත් හුරුබුහුටි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුවකි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26ක් සහ එක්දින තරග 25ක් ක්‍රීඩා කර ඇති මොහු ශ්‍රී ලංකාවට එරෙහිවද හොඳින් දස්කම් දක්වා තිබෙනවා. මොහුගේ තාක්ෂණයෙන් යුතු ක්‍රීඩා විලාසය නිසා මොහුට ඉතාමත් හොඳ අනාගතයක් ඇතැයි බොහෝ දෙනා මත පළකර තිබුණා.

ෆිල් හියුස් 2014 වසරේ නොවැම්බර් මස 25 වනදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ෂෙෆීල්ඩ් පළිහ ශූරතාවයට අයත් තරගයකදී පන්දුව ගෙළේ වැදීමෙන් අනතුරකට ලක්වෙනවා. ප්‍රතිවාදී පිලේ ෂෝන් ඇබොට් විසින් එවන ලද වේගපන්දුව සිය වම් කණට පහළින් ගෙළේ වැදීම නිසා ඔහු සිහිසුන් වී ඇදවැටෙන අතර වහාම ළඟම ඇති ශාන්ත වින්සන්ට් රෝහලට ඇතුළත් කළත් ඔහුගේ තත්වය බරපතල වෙනවා. පන්දුව වැදීම නිසා ඔහුගේ මොළයට රුධිරය ගමන් කරන ප්‍රධාන නාළයක් පුපුරා ඇති බවත්, අභ්‍යන්තර රුධිර වහනය නිසා ඔහුගේ තත්වය අසාධ්‍ය බවත් වෛද්‍යවරුන් සොයා ගන්නවා.

ඕස්ට්‍රේලියානුවන්ට මෙන්ම මුළු ලෝකයටම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අහිමි කරමින් ඊට දින දෙකකට පසු ලොවක් හඬවමින් පිලිප් හියුස් ජීවිතයෙන් සමුගන්නවා. ඒ වනවිට ඔහුගේ 26 වන උපන්දිනයට තිබුණේ තවත් දවස් 3ක් වගේ කාලයක් පමණයි.

රුනාකෝ මෝටන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් (වයස අවුරුදු 33)

කුඩා කාලයේදීම විශිෂ්ඨ දක්ෂතා දැක්වූ රුනාකෝ මෝටන් පිතිකරුවෙකු ලෙස කෙදිනක හෝ ජාතික වර්ණ ලැබෙනු ඇතැයි ඔහුගේ උපන් රට වන ට්‍රිනිඩ්‍රෑඩ් හා ටොබේගෝ හි වැසියන් විශ්වාස කළා. ඔවුන් සිතූ ලෙසම ඔහුට එම අවස්ථාව ලැබුණත් නිසියාකාර දක්ෂතා නොපෙන්වීම නිසා වරින් වර කණ්ඩායමෙන් ඉවත් වීමට ඔහුට සිදුවුණා.

කෙසේ නමුත් ඔහු තුළ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති සහජ දක්ෂතාවය වරින් වර ඉදිරියට පැමිණි අතර 2006 වසරේ නේපියර් හීදී සත්කාරක නවසීලන්තයට එරෙහිව ඔහු ලද ශතකය ඊට කදිම නිදසුනක්. නැවතත් දක්ෂතා පෙන්වීම අතින් අසාර්ථක වීම නිසා 2010 වසරේදී කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවන ඔහුට ඉන්පසු වසර දෙකක්ම ජාතික කණ්ඩායමට තේරී පත්වීමට නොහැකිවුණා.

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ප්‍රබලයින් කිහිප දෙනෙක් නැහැ

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ……….


තවත් වසර කිහිපයකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාව මෝටන් තුළ ඉතිරිව තිබීම නිසා ප්‍රේක්ෂකයන් ඔහු නැවතත් කණ්ඩායමට පැමිණේ යයි බලාපොරොත්තුවෙන් සිටියත් කිසිදා එය ඉටු නොවුණේ 2012 වසරේ මාර්තු මස 04 වැනි දින සිදුවූ රිය අනතුරකින් ඔහු අකාලයේ මරණයට පත්වීම  නිසායි.

බෙන් හොලියොක් එංගලන්තය (වයස අවුරුදු 24)

ඕස්ට්‍රේලියාවේ ඉපිද එංගලන්තයට පැමිණෙන ඇඩම් හොලියොක් හා බෙන් හොලියොක් සොහොයුරන් දෙදෙනා එංගලන්තයට හිමි වූ වටිනා සම්පත් දෙකකි. මොවුන් දෙදෙනාගෙන් බාල සොහොයුරු වන බෙන් හොලියොක් ජාතික වර්ණ දිනාගන්නේ වයස අවුරුදු 20ක් පමණ වන විටයි. නමුත් ඔහු ජාතික කණ්ඩායමේදී එතරම් දක්ෂතා නොපෙන්වූ අතර ක්‍රීඩා කිරීමට ලැබෙන්නේද ටෙස්ට් තරග දෙකක් පමණයි.

දක්ෂතා පෙන්වීමට අපොහොසත් වුවත් බෙන් හොලියොක් උපන් ගෙයි දක්ෂයෙක් වූ නිසාම ඔහු ගැන එංගලන්ත ක්‍රිකට් බලධාරීන් හැමවිටම අවධානයෙන් සිටි අතර වයසින් මුහුකුරා යාමත් සමඟ නැවත දක්ෂතා අතරට පැමිණීමට ඔහුට හැකිවෙනු ඇතැයි විශ්වාස කෙරුණා. නමුත් ඒ ප්‍රාර්ථනා සුන්කරමින් 2002 වසරේදී ඕස්ට්‍රේලියානු සංචාරයක යෙදී සිටි බෙන් හොලියොක්ගේ කාරය තාප්පයක වැදී දරුණු අනතුරක් සිදුවෙනවා. මින් බරපතල තුවාල ලබන ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවෙන්නේ නෑ. මිය යනවිට ඔහු 24 වැනි වියේ පසුවුණා. බෙන් හොලියොක් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට වැදගත් වෙන්නේ ඔහු මුත්තයියා මුරලිදරන්ගේ 200 වන ටෙස්ට් ගොදුර වීම නිසායි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<