දඹුල්ල තරගාවලියෙන් ඉවතට

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1392
Dialog-SLC National Super League 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතිය නිමා කරමින් අද (27) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දඹුල්ල සහ යාපනය කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් යුතුව අවසන් වූවා.

කාසියේ වාසිය දිනා ගත් යාපනය කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 283ක් රැස්කර ගත්තා. ඊට පිළිතුරු ලෙසින් යාපනය ක්‍රීඩකයන් දින දෙකක් පුරා පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 379ක් වාර්තා කර ගත්තා.

ලකුණු 96ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 256ක් රැස් කරගෙන සිටිය දී ඉනිම අත්හිටවූවා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 161ක හඹා යන දෙවැනි ඉනිමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන් අද තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 61ක් වාර්තා කරගෙන සිටියා.

දඹුල්ල දෙවැනි ඉනිමේ දී අශාන් ප්‍රියංජන් පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් රැස්කර ගත්තා. ඔහුට අමතරව නායක මිනෝද් භානුක පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ද, ලියෝ ෆ්‍රැන්සිස්කෝ පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 46ක් ද වාර්තා කරගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු 3ක් දවා ගත් අතර දිලුම් සුධීර, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ජනිත් ලියනගේ කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගය නතර කරන විට යාපනය කණ්ඩායම වෙනුවනේ නිශාන් මධුශ්ක නොදැවී ලකුණු 32ක් ද, නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23ක් ද රැස් කරගෙන සිටියා. එම ඉනිමේ දැවී ගිය කඩුලු දෙකේම හිමිකාරීත්වය මාලින්ද පුෂ්පකුමාර සතු වුනා.

දඹුල්ල – පළමු ඉනිම සියලු දෙනා දැවී 283 (99.5): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, ලසිත් අබේරත්න 68, දුශාන් හේමන්ත නොදැවී 63, මිනෝද් භානුක 53, චමිඳු විජේසිංහ 35, නුවන් ප්‍රදීප් 7/52.

යාපනය – පළමු ඉනිම සියලු දෙනා දැවී 379 (122.1): නිශාන් මධුශ්ක 69, ජනිත් ලියනගේ 69, සමින්ද ප්‍රනාන්දු 52, අවිශ්ක තරිඳු 40, නවොද් පරණවිතාන 26, ධනංජය ද සිල්වා 25, ගීත් කුමාර 26, දිලුම් සුධීර 32, මාලින්ද පුෂ්පකුමාර 4/131.

දඹුල්ල – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 256 (59): මිනෝද් භානුක 48, අශාන් ප්‍රියංජන් 62, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 46, නිමේෂ ගුණසිංහ 35, ලසිත් අබේරත්න 26, දිලුම් සුධීර 2/87, ධනංජය ද සිල්වා 3/44, ජෙෆ්රි වැන්ඩර්සේ 2/63, ජනිත් ලියනගේ 2/26.

යාපනය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 61 (18): නිශාන් මධුශ්ක නොදැවී 32, ධනංජය ද සිල්වා නොදැවී 23, මාලින්ද පුෂ්පකුමාර 2/20.

මෙම තරගයත් සමඟ මෙවර තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වූ අතර ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා කොළඹ, මහනුවර, ගාල්ල සහ යාපනය කණ්ඩායම් සුදුසුකම් හිමි කරගත්තා.

ඒ අනුව පැවැත්වෙන අවසන් පූර්ව තරග මේ මස 31 වැනිදා පල්ලෙකැලේ දී සහ හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<