Suryaගේ සාදය හමාර කිරීමට Rashidගෙන් විශිෂ්ට උත්සාහයක්!

422

2023 IPL තරගාවලියේ 57 වැනි තරගය ලෙස Mumbai Indians සහ Gujarat Titans කණ්ඩායම් අතර ඊයේ (12) පැවැත්වුණු තරගයෙන් ලකුණු 27ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Mumbai Indians සමත් වුනා.

මුම්බායි හි Wankhede ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුජරාට් නායක Hardik Pandya විසින් සිය සුපුරුදු උපක්‍රමය වන ලකුණු හඹා යෑම තෝරා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට මුම්බායි නායක Rohit Sharmaට ආරාධනා කළා.

ඒ අනුව මුම්බායි වෙනුවෙන් සුපුරුදු ආරම්භක පිතිකරුවන් ලෙස Rohit Sharma සහ Ishan Kishan පිටියට පිවිසුණ අතර, මෙතෙක් තරගාවලියේ බොහෝ අවස්ථාවල මුම්බායි වෙත සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් නොවූ මෙම පිතිකරණ යුගලය ඊයේ දිනයේ එම සියලු වාර්තා අතීතයට එක් කරමින් මුල් පන්දුවාර 6 දී ලකුණු 60ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පන්දු 18කින් ලකුණු 29ක් ලබා සිටි නායක Sharmaව දවා ගැනීමට Rashid Khan විසින් සමත් වූ අතර, එතැනින් නොනැවතුණු Rashid විසින් තවත් මුම්බායි කඩුලු 2කට වගකියමින් ඉනිමේ 9 වැනි පන්දුවාරය වන විට ලකුණු 88කට කඩුලු 3ක් ලෙසට මුම්බායි ලකුණු පුවරුව හැරවීමට සමත් වුනා.

නමුත් එතැන් පටන් පිටියේ එක් වූ Suryakumar Yadav සහ Vishnu Vinod විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඉක්මන් ලකුණු 65ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. මෙහි දී Vinod විසින් පන්දු 20කින් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනේ අලංකාර හයේ පහර දෙකක් ද සමඟිනුයි.

ඒ මොහොතේ ක්‍රියාත්මක වූ Mohit Sharma විසින් Vinodගේ කඩුල්ල බිඳ හෙළීමට සමත් වූ අතර, ඉන්පසුව කඩුල්ලට පැමිණි Tim Davidව ලකුණු 5කට දවා ගැනීමට Rashid විසින් සමත් වුනා. නමුත් ඒ වන විටත් නොදැවී කඩුල්ලේ රැඳී සිටි Surya සහ සහයට පැමිණි Cameron Green විසින් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 18කින් ලකුණු 54ක වේගවත් සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

නමුත් මේ වෙනුවෙන් Greenගේ පිත්තෙන් එක් වී තිබුණේ ලකුණු 3ක් පමණයි. ඉතිරි ලකුණු 51න් 50ක් ම Suryaගේ නම ඉදිරියෙන් ලියැවී තිබුණා. එමෙන් ම Surya විසින් මුහුණ දී තිබූ පළමු පන්දු 34 තුල ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 53ක් පමණයි.

නමුත් ඔහු විසින් මුහුණ දුන් අවසන් පන්දු 15 තුල ලකුණු 50ක් ලබා ගනිමින් සිය පළමු IPL ශතකය ද ඊයේ දිනයේ දී වාර්තා කිරීමට Surya විසින් සමත් වුනා. මෙහි දී ඉනිමේ අවසන් පන්දුව වන විට Surya විසින් ලකුණු 97ක් ලබා සිටි අතර, Alzarri Joshep විසින් යොමු කළ පන්දුවට අලංකාර හයේ පහරක් එල්ල කරමින් සිනමාපටයකට උචිත අන්දමේ අවසානයක් සිය ඉනිම වෙනුවෙන් ලබා දීමට Surya විසින් සමත් වුනා.

පන්දු 49කින් වාර්තා වූ Suryaගේ මෙම අග්‍රගණ්‍ය ශතකයට අතිශය අලංකාර හයේ පහර 6ක් සහ හතරේ පහර 11ක් අඩංගු වුනා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට මුම්බායි කණ්ඩායම විසින් ලකුණු 218ක් සිය ලකුණු පුවරුවේ සටහන් කර ගැනීමට සමත් වූ අතර, ගුජරාටය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වීමට සමත් වුනේ ලකුණු 30කට කඩුලු 4ක් බිඳ හෙළු Rashid Khan පමණයි.

මේ අනුව ලකුණු 219ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ අභියෝගයක් ගුජරාටයට ලැබුණු අතර, ගුජරාට් ඉතිහාසයේ විශිෂ්ට ලකුණු හඹා යාමේ අවස්ථා කිහිපයක් ම මීට පෙර සටහන් වී තිබූ බැවින් මෙවර ද එය සාර්ථක වනු ඇති බවට ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් විශ්වාස කරන්නට ඇති.

නමුත් මෙවර මුම්බායි පන්දු යවන්නන් ඉදිරියේ ගුජරාට් පිතිකරුවන් අන්ත අසරණ වූ අතර ඔවුන්ගේ මුල් කඩුලු 5ම ලකුණු 55ක් තුල දවා ගැනීමට Akash Madhwal ප්‍රමුඛ මුම්බායි පන්දු යවන්නන් විසින් සමත් වුනා.

කෙසේ වෙතත් ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් David Miller සහ Rahul Tewatia විසින් ලකුණු 45ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ නමුත් ඉනිමේ ලකුණු 100ය සටහන් වීමත් සමඟම ඔවුන් දෙදෙනා ම දවා ගැනීමට නැවත ක්‍රියාත්මක වූ මුම්බායි පන්දු යවන්නන් විසින් සමත් වුනා.

ඉන්පසුව පිටියට පිවිසි Noor Ahmadගේ කඩුල්ල ද ඉනිමේ ලකුණු සංඛ්‍යාව 103ක් ලෙස සටහන් වී තිබිය දී දවා ගැනීමට Kumar Kartikeya විසින් සමත් වූ අතර එතැන් පටන් ගුජරාටය වෙනුවෙන් පිටියේ එක් වුන Rashid Khan සහ Alzarri Joseph විසින් පන්දු 40කින් සපුරා ගැනීමට අවශ්‍ය වූ ලකුණු 116ක දැවැන්ත අභියෝගය හඹා යාමට විශිෂ්ට උත්සාහයක් දැරුවා.

මෙහි දී ඇෆ්ගනිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක Rashid Khan විසින් තමන් තවත් එක් දඟපන්දු යවන්නකු පමණක් නොවන වග විදහා පාමින් ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු අතර, ඔහු විසින් පන්දු 32ක් පමණක් වැය කරමින් ලකුණු 79ක් ලබා ගැනීමට සමත් වුනේ අතිදැවැන්ත හයේ පහර 10ක් ද සිය ඉනිමට එක් කර ගනිමිනුයි.

ඉනිමේ අවසන් පන්දුව තෙක් ම Rashid විසින් සිය පිත්තට කිසිදු බුරුලක් ලබා නොදුන් නමුත්, ඔහුට සිය කණ්ඩායම රැගෙන යා යුතු ඉලක්කය වෙත රැගෙන යා නොහැකි වුනා.

මෙහි දී Rashid සහ Alzarri විසින් විසින් ගුජරාට් ඉනිමේ 9වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 88ක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.

කෙසේ වෙතත් නියමිත පන්දුවාර 20 අවසානයේ ගුජරාටයට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 191ක් පමණයි. ඒ අනුව මුම්බාය විසින් ගුජරාටයට එරෙහි ව ලකුණු 27ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුනා.

මෙහි දී මුම්බායි වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Akash Madhwal විසින් ලකුණු 31කට කඩුලු 3ක් ද, Piyush Chawla සහ Kumar Kartikeya විසින් කඩුලු 2 බැගින් ද දවා ගත්තා.

එමෙන් ම විශිෂ්ට ශතකයක් ලබා ගනිමින් මුම්බායි ජය තහවුරු කළ Suryakumar Yadav හට තරගයේ වීරයා සම්මානය හිමිවුනා.

  • Mumbai Indians 218/5 (20) Suryakumar Yadav 103*, Rashid Khan 4-30
  • Gujarat Titans 191-8 (20) Rashid Khan 79*, David Miller 41, Akash Madhwal 3-31

මේ අතර Mumbai Indians විසින් ලද මෙම ජයග්‍රණයත් සමඟින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට ඔවුන් සමත් වී ඇත්තේ ලකුණු 14ක් ද සමඟිනුයි. එමෙන් ම මෙම තරගයෙන් පරාජය වුව ද ලකුණු 16ක් සමඟින් තවමත් ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටීමට Gujarat Titans සමත් වී ඇති අතර, ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින Chennai Super Kings ද ඇතුළු මෙම කණ්ඩායම් තුනට ම මෙවර තරගාවලියේ Play- Off තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ තවත් තරග දෙකක් අද (13) දිනයේ Lucknow Super Giants සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතරත්, Delhi Capitals සහ Punjab Kings කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි.

මෙම තරග දෙකත් ඇතුළු ව IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<