කොරෝනා දසත පැතිරෙද්දී කොදෙව්වෝ අලුත් සෙල්ලමකට

72

Covid-19 වසංගත තත්වය නිසා ලොව පුරාම සාමාන්‍ය කටයුතු සහ ක්‍රීඩාව නැවතී තිබෙන පසුබිමක නවතම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත. “වින්සි T10 ප්‍රිමියර් ලීග්” (VPL) යන මෙම නවතම ක්‍රිකට් තරගාවලිය සාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් හිදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් ආරම්භය ජුනිවලට කල් යයි

VPL හි මංගල තරග අදියර වන මෙම තරගාවලිය මැයි මස 22 වැනිදා සිට 31ක දක්වා දින 9ක් මුළුල්ලේ කණ්ඩායම් 6ක සහභාගීත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙවැනි වසංගත තත්වයක් ලොව පුරා පැතිර යන විට කුමන ආකාරයකින් හෝ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කළ පළමු රට බවට පත්වූයේ වනාටු දේශයයි. කෙසේ වෙතත් VPL තරගාවලිය මේ අන්දමින්ම ක්‍රියාත්මක වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හි පූර්ණ සාමාජිකත්වය තිබෙන රටක පැවැත්වෙන පළමු ක්‍රිකට් තරගාවලිය එය බවට පත්වනු ඇත. 

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ උප සභාපති සහ සාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් ක්‍රිකට් සංගමයේ සභාපති වන කිෂෝර් ශාලොව් මහතා තරගාවලිය පිළිබඳව මෙසේ සිය අදහස් පවසා ඇත.

“මේ දූපතේ කොරෝනා ආසාදිතයින් හමුවෙලා තියෙන්නේ 18 දෙනෙක් පමණයි. එකෙනුත් 10 දෙනෙක් සම්පූර්ණ සුවය ලබලා තියෙනවා. කොයිම වෙලාවකදිවත් ක්‍රීඩකයින් මහජනතාව සඳහා නිරාවරණය වෙන්න දෙන්නේ නැහැ. රජය සහ සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන උපදෙස් අනුව යමින් තරගාවලිය සාර්ථකව පවත්වන්න අවශ්‍ය සියලුම කටයුතු අපි සූදානම් කරලා තියෙන්නේ. 

ඒ වගේම තරගය පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින් හැමෝටම hand sanitizers භාවිතා කරන්න පුළුවන්. පන්දුව පිරිමැදීම සඳහා ඛේටය හෝ දහඩිය යොදාගන්න බැහැ. ඒ වගේම පුහුණුවීම් කටයුතු කරන කොට මෙන්ම ජය සතුට සමරන කොට ක්‍රීඩක දුරස්ථ භාවය තබා ගන්න අපි උපදෙස් දීලා තියෙනවා.” 

තැනේ හැටියට ඇණේ ගැසූ ආනෝල්ඩ්

එපමණක් නොව ඉදිරියේ දී ලොව නැවත ක්‍රිකට් තරග ආරම්භ කරන විට පන්දුව පිරිමැදීම සඳහා ඛේටය හෝ දහඩිය භාවිතා කිරීම වැළැක්විය යුතු බවට ICCය සහ සෞඛ්‍ය නිලධාරීන් පවසා තිබේ. 

එම කොන්දේසි වලට අනුව යමින් තරගාවලිය තුල පන්දුව පිරිමැදීම සඳහා ඛේටය හෝ දහඩිය භාවිතා කිරීම තහනම් කර තිබේ. ඒ අනුව මේ තරගාවලිය ක්‍රියාත්මක වුවහොත් එවැනි දෙයක් සිදු කළ පළමු ක්‍රිකට් තරගාවලිය ද මෙය වේ. මේ තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට පැමිණීමට ද හැකි අතර සාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් රජයේ බලධාරීන් විසින් මේ සඳහා කිසිදු තහනමක් මේ වන විට පනවා නොමැත.

2020 VPL තරගාවලිය සඳහා තරග වදිනු ලබන කණ්ඩායම්,

  • බොටැනික් ගාර්ඩ්න්ස් රේන්ජර්ස් – කෙස්රික් විලියම්ස් (ප්‍රධාන ක්‍රීඩකයා), නික්සන් මැක්ලියන් (ප්‍රධාන පුහුණුකරු)
  • ග්‍රෙනඩින්ස් ඩයිවර්ස් – ඕබෙඩ් මැකෝයි (ප්‍රධාන ක්‍රීඩකයා), ඉයන් ඇලන් (ප්‍රධාන පුහුණුකරු)
  • සෝල්ට් පොන්ඩ් බ්‍රේකර්ස් – සුනිල් ඇම්බ්‍රිස් (ප්‍රධාන ක්‍රීඩකයා), ඔලන්සෝ ජැක්සන් (ප්‍රධාන පුහුණුකරු)
  • ලොසියිෆියා  හයිකර්ස් – ඩෙස්රොන් මැලෝනි (ප්‍රධාන ක්‍රීඩකයා), අර්වින් වොරිකන් (ප්‍රධාන පුහුණුකරු)
  • ඩාර්ක් විව් එක්ස්ප්ලෝර්ස් – ලින්ඩන් ජේම්ස් (ප්‍රධාන ක්‍රීඩකයා), බර්ට්‍රම් ස්ටැප්ලෙටන් (ප්‍රධාන පුහුණුකරු)
  • ෆෝර්ට් චාලට් ස්ට්‍රයිකර්ස් – කෙරොන් කෝටෝයි (ප්‍රධාන ක්‍රීඩකයා); කෙන්රෝයි මාටින් (ප්‍රධාන පුහුණුකරු)

දින 9ක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලිය තුල දී තරග 30ක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මැයි මස 11 වැනිදා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 72 දෙනෙකු මෙම කණ්ඩායම් 6 සඳහා බෙදී ගොස් ඇත. 

ඒ එක් එක් කණ්ඩායම සඳහා එක් ප්‍රධාන ක්‍රීඩකයෙක් ඇතුළත් වන නමුත් මේ තරගාවලිය සඳහා සහභාගී වන්නේ කොදෙව් දූපත් හි ක්‍රිකට් ක්‍රීඩකයින් පමණි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<