පරාජය ගැන ඇෆ්ගන් නායකයාගේ අදහස්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය - 2022

7378

2022 ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයට ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (03) සමත් වුනා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින්.

වාර්තා කීපයකින්ම හැඩවුනු මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තුන් ඉරියව් දක්ෂතා කැපී පෙනුණා.

ඊයේ තරගයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇෆ්ගනිස්ථාන නායක Mohammad Nabi සිය කණ්ඩායමේ අසාර්ථකත්වය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව අදහස් දක්වා සිටියා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට පෙර පැවති තරග දෙකේ දී ම ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වූවත්, ඊයේ තරගයේ දී ඔවුන් එතරම් සාර්ථක වුනේ නැහැ. මේ පිළිබඳව Mohammad Nabi අදහස් දක්වා සිටියා.

තණතීරු සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා. සාජා සහ ඩුබායි අතර ලොකු වෙනසක් තිබුණා. අපි අවසන් වරට ක්‍රීඩා කරපු බංග්ලාදේශ තරගය සහ මේ තරගය ගත්තම අපේ පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් පසුබෑමකට ලක්වුනා. පන්දු යවන්නන් නියමිත එල්ලයට පන්දු යැවුවේ නැහැ. ඒ වගේම අපි උඩපන්දු කීපයක් අතහැරියා. මම හිතන්නේ ඒකෙන් තරගයේ ග්‍රහණය අපෙන් ගිලිහුණා.”

තරගයේ අවසන් පන්දුවාර කීපයේ දී අපිට තවත් ලකුණු 20-25ක් වාර්තා කරන්න පුළුවන් වුනා නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා,” Mohammad Nabi පවසා සිටියා.

ඊයේ තරගයේ දී පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා පළමු පන්දුවාර 6 තුළ දී ලකුණු 57ක් වාර්තා කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව powerplay අවස්ථාව තුළ හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඔවුන් ලකුණු 60කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත්තා. ඒ වගේම ඔවුන් නිකරුණේ ඔවුන්ගේ කඩුලු ලබා දුන්නේ නැහැ. ඔවුන් එතනින් තරගය ඔවුන්ගේ පැත්තට හරවා ගත්තා,” Mohammad Nabi පවසා සිටියා.

පසුගිය සෙනසුරාදා පැවති මූලික වටයේ තරගයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 105කට දැවී ගියා. ඉන් දින හතකට පසුව එම ක්‍රීඩකයන්ම ප්‍රබල තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් වීම කැපී පෙනෙන කරුණක්.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනුවෙන් වාර්තා වූ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව 36ක් වුවද, ඔවුන්ගේ බොහෝ පිතිකරුවන් දැවී ගියේ ලකුණු 176ක ඉලක්කය හඹා යාමට ප්‍රබල දායකත්වයක් ලබා දෙමින්.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ලබා ගත් ප්‍රබල ආරම්භය පවත්වා ගැනීමට ධනුෂ්ක ගුණතිලක සමත් වූ අතර තරගයේ අවසන් පන්දුවාර කීපය තුළ තරගය තමන් වෙතට හරවා ගැනීමට භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග සමත් වුනා.

කෙසේ වෙතත්, ප්‍රබල පිතිකරණයක නිරත වූ Rahmanullah Gurbaz ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුවට ලකුණු 84ක් එක් කළේ පන්දු 45ක් පමණක් වැය කරමින්. ඇෆ්ගනිස්තානය එක් අවස්ථාවක දී ලකුණු 200ක ඉලක්කයක් දෙස බලා සිටි නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ව වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය එළඹෙන 6 වැනිදා ඉන්දියාව සමඟින් පැවැත්වීමට නියමිත වනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<