ඇෆ්ගන්වරුන්ට එරෙහිව එකට එක කිරීමට අවස්ථාවක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

693
Sri Lanka vs Afganistan Preview

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ  දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ඇෆ්ගනිස්තානය සමඟ අද (03) එක්සත් අරාබි එමීර් රාජ්‍ය සාජා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු වටයේ සියලු තරග ඊයේ (02) අවසන් වෙද්දී දෙවැනි වටය සඳහා A කාණ්ඩයෙන් ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා ගනිද්දී B කාණ්ඩයෙන් ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තා. තරගාවලියේ පෙර සැකසුම අනුව අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 සමඟ මෙම වටයේ දී ද එකිනෙකා තරග කළ යුතුයි.

ඒ අනුව දෙවැනි වටය ආරම්භ වෙන්නේ 2022 ආසියානු ක්‍රිකට් තරගාවලිය ආරම්භ කළ තරගය සේ ම වූ  ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ලෙසින්. පළමු වටයේ දී එකිනෙකා හමු වූ මෙම කණ්ඩායම් දෙක එම වටය අවසන් කරන්නේ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව අපරාජිතව සිටින ඇෆ්ගනිස්ථානය 2.467ක් ලබා ගනිමින් සහ ශ්‍රී ලංකාව -2.233ක් ලෙස ලබා ගනිමින්.

මේ දත්ත ශ්‍රී ලංකා කණ්ඩායම අනුව ගන්නා කළ ඉතා දුර්වල, දුප්පත් තත්ත්වයක්. නමුත් ක්‍රිකට් යනු, තරගයක ජය – පරාජය ඇසුරු සැණකින් වෙනස් විය හැකි දෙයක්. අපි මේ තරගයට ප්‍රවිශ්ට විය යුත්තේ ද එතැනින් ම යන්න අපගේ විශ්වාසයයි.

කෙසේ වෙතත් ආසියානු කුසලාන පළමු වටයේ නිමා වූ තරගයේ දී ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ ගෞරවය  තවදුරටත් ආරක්ෂා  කර ගැනීමට මෙම තරගයේ දී ද කැස කවනු නියතයි. එබැවින් ඔවුන් මෙම තරගය වෙනුවෙන් ද තම හොඳම  සටන්කාමී කණ්ඩායම නම් කරනු ඇත.

එහි දී අපට එරෙහි ව රිසි සේ බැට දුන් Hazratullah Zazai සහ Rahmanullah Gurbaz සිටිනු ඇත. ඊටත් වඩා පන්දු යැවීමේ දී අපේ පිතිකරුවෝ අමාරුවේ දැමූ Fazalhaq Farooqi, Mujeeb Ur Rahman සහ Mohammad Nabi සිටිනු ඇත.

අසීරු අභියෝගයක්! එහෙත් මේ අභියෝගය ජය ගත යුතුව ම තිබේ.

ඒ හරියට ම මීට සතියකට පෙර තවමත් කෝඩුකාර ලේබලයේ රැඳී සිටින ඇෆ්ගනිස්ථානය ඉදිරියේ පන්දු 59ක් ඉතිරිව තිබිය දී කඩුලු 8කින් පරාජය වෙමින් කෙලසා ගත් තම ගෞරවය නැවත හිස මත තබා ගැනීමට නම්, එය අනිවාර්ය අංගයක් වන නිසයි. එවන් කණ්ඩායමක් ඉදිරියේ පිට පිට දෙවතාවක් පරාජය විය නොහැකියි.

එබැවින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ද තම උපරිම තුරුම්පු භාවිතා කරතැයි විශ්වාස කළ හැකියි. ඒ අනුව බොහෝ විට නිමා වූ ජයග්‍රාහී බංග්ලාදේශ තරගයේ දී පිටියට පිවිසි කණ්ඩායම ම මෙම තරගයට ද නම් කරතැයි සිතිය හැකියි. ඔවුන්ට ඊට වඩා විකල්පයක් නැත.

නමුත් මේ දක්වා ආරම්භක කඩුල්ලේ දී වන දුර්වලතාව කෙරෙහි ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය මෙම තරගයේ දී යොමු කළ යුතු යැයි අපගේ විශ්වාසයයි. එසේ යොමු කරන්නේ නම්, කුසල් මෙන්ඩිස් සමඟ ආරම්භක පිතිකරු ලෙසින් ධනුෂ්ක ගුණතිලක යොදවා ධනංජය ද සිල්වා අද තරගයට එක්කර ගත හැකියි.

එසේ වුවහොත් එළියට විසි වෙන්නේ පැතුම් නිස්සංක ද චරිත් අසලංක ද යන්න තීරණය කිරීම බැරෑරුම් කාර්යයක් වනු ඇත. කෙසේ වෙතත් පැතුම් නිස්සංක සහ චරිත් අසංලක තවමත් තම රිද්මය සොයා වෙහෙස වීම, තීරණාත්මක තරගයක දී කණ්ඩායමට නම් වැඩක් නොවේ.

අද ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්

  • ශ්‍රී ලංකා කණ්ඩායම; කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනුෂ්ක ගුණතිලක, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක/ ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මදුශංක.
  • ඇෆ්ගනිස්ථාන කණ්ඩායම; Hazratullah Zazai, Rahmanullah Gurbaz (කඩුලු රකින්නා), Ibrahim Zadran, Najibullah Zadran, Mohammad Nabi (නායක), Karim Janat, Rashid Khan, Azmatullah Omarzai, Naveen-ul-Haq, Mujeeb-ur-Rahman, Fazalhaq Farooqi

කණ්ඩායම කෙසේ නම් කළ ද ඔවුන් පළමුවෙන් ම කළ යුත්තේ ඇෆ්ගන්වරුන් පාලනය කිරීමයි. ඇෆ්ගන්වරන් අන් කවරදාටත් වඩා සියලු ම අංශයන්ගෙන් පරිපූර්ණ ව ඇති බැව් අප නිමා වූ තරග දෙකේදීම දුටුවා. එබැවින් ශ්‍රී ලංකාවට මෙම තරගය හිතන තරම් ලෙහෙසියෙන් ගත හැක්කක් නම් නොවේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<