ශ්‍රී ලංකාවේ උපක්‍රම ගැන බංගලියන්ගේ නොසතුට!

Asia Cup 2022

13688
Chris Silverwood

ආසියානු කුසලානයේ පස්වැනි තරගය ලෙස බ්‍රහස්පතින්දා (1) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම සවිමත් කිරීම වෙනුවෙන් පන්දු 37කින් ලකුණු 60ක් ලබා ගත් කුසල් මෙන්ඩිස් සහ පන්දු 33කින් ලකුණු 45ක් ලබා ගත් දසුන් ශානක විශාල දායකත්වයක් ලබා දුන්නත්, ඉනිම අවසානය වන විට තරගයේ ජයග්‍රහණය පිළිබඳව සැකයක් ඉතිරි කරමින් ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් සමත් වුනා.

කෙසේ හෝ ඉනිමේ අවසාන භාගයේ පන්දු 10කින් ලකුණු 16ක් ලබා ගත් චාමික කරුණාරත්න සහ පන්දු 3කින් ලකුණු 10ක් ලබා ගත් අසිත ප්‍රනාන්දුගේ අධිෂ්ඨානශීලී පිතිකරණය හේතුවෙන් අදාළ ඉලක්කය පන්දුවාර 19කුත් පන්දු 2ක් තුල සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

තරගයට දින ගණනාවකට පෙර සිට ඉතා උණුසුම් මුහුණුවරකින් යුතු වාග් සංග්‍රාමයන් ඇති වීම නිසා මෙම තරගය පිළිබඳ ඉතා දැඩි ජාත්‍යන්තර අවධානයක් පවා ලැබී තිබුණා.

ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගය කඩුලු 8කින් පරාජය වීමෙන් පසුව මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා නායක දසුන් ශානක බංග්ලාදේශය “පහසු ප්‍රතිවාදියෙකු” ලෙස නම් කිරීමෙන් පසුව ඇරඹුණු මෙම කතාබහට බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Mehedi hasan එක් වෙමින් පවසා සිටියේ එදා දවසේ ක්‍රීඩා පිටියේ දී දසුන්ට එම ප්‍රකාශයට පිළිතුරු ලැබෙනු ඇති බවයි.

එයින් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බංගලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂක Khaled Mahmud පවසා සිටියේ “ශ්‍රී ලංකාවට කිසිදු ලෝක මට්ටමේ පන්දු යවන්නකු නොමැති බවයි”.

එයින් පසුව එම ප්‍රකාශයට පිළිතුරු ලෙස twitter සටහනක් නිකුත් කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ, තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක මට්ටමේ එකක් ද, නැද්ද යන වග දැක බලා ගත හැකි වනු ඇති බවයි.

මෙලෙස ඉතාම උණුසුම් පසුබිමක් තුල පැවැත්වුණු මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වීම බංග්ලාදේශ ක්‍රිකට් ලෝලීන්ට දරා ගැනීමට ඒ තරම්ම පහසු එකක් නොවුණු බව

සමාජ මාධ්‍ය හරහා ඔවුන් විසින් ලබා දෙන අදහස්වලින් හොඳින්ම පැහැදිලි වෙමින් පවතිනවා.

ඒ අතර ප්‍රධාන ලෙස සාකච්ඡාවට බඳුන් වන කරුණක් වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු Chris Silverwood විසින් පිටියේ සිටින දසුන් ශානකට කේත මගින් සංඥා ලබා දීමයි.

“මේ ක්‍රිකට් මිස පාපන්දු නෙවෙයි! ක්‍රීඩාගාරයේ ඉඳලා ක්‍රීඩා පිටියට මෙහෙම සංඥා ලබා දෙනවා නම්, නායකයාට තව මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?”

බංග්ලාදේශ ක්‍රිකට් රසිකයෙක් විසින් ඊයේ තරගයේ සිදුවීම පිළිබඳ මෙසේ තම විවේචනය ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම උපක්‍රමය ඊයේ පළමු වරට අත්හදා බැලූවක් නොවන අතර, තරමක් පරණ එකක් බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

2020 වසරේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති විස්සයි විස්ස තරගාවලියක දී මෙම උපක්‍රමය එවකට එංගලන්ත පුහුණුකරු ලෙස කටයුතු කළ Chris Silverwood විසින්ම හඳුන්වා දුන් අතර, එය අදාළ කාලයේ දී හිටපු එංගලන්ත නායකයකු වන Michael Vaughan විසින් ද විවේචනය කළා.

එහි දී Chris Silverwoodගේ සහයට පැමිණි එවකට එංගලන්ත නායක Eoin Morgan විසින් පවසා සිටියේ එහි කිසිදු වරදක් නොමැති බවයි.

“එහි කිසිම වරදක් නැහැ, සියයට සියයක්ම තරගයේ ජීවගුණය ආරක්ෂා වෙන විදිහටයි අපි ඒ දේ කරන්නේ. පුහුණුකරුගේ යම් යම් නිර්දේශ කිරීම් සහ අප සතුව තිබෙන තොරතුරු ප්‍රමාණය ඉහළ නංවා ගැනීමක් විතරයි අපි කරන්නේ,” Morgan එලෙස අදහස් පල කර සිටියා.

ඊයේ තරගයෙන් අනතුරුව නැවතත් සාකච්ඡාවට බඳුන් වෙන මෙම උපක්‍රමය පිළිබඳ සරල හැඳින්වීමක් කරනවා නම්, ක්‍රීඩාගාරය තුල සිටින කවරකු හෝ විසින් පුහුණුකරු සහ තරග විශ්ලේෂක විසින් ලබා දෙන ඉඟි හින්දු-අරාබි ඉලක්කම් සහ ඉංග්‍රීසි අකුරු භාවිතයෙන් ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයින්ට පෙනීමට සැලැස්වීමයි මෙහි දී සිදු වන්නේ.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පුහුණුකරු සිය අදහස් දක්වමින් පවසා සිටියේ, “මේක හරිම සරල දෙයක් සහ අද වෙද්දී ගොඩක් කණ්ඩායම් අනුගමනය කරන දෙයක්, ක්‍රීඩකයෙක් පිතිකරණයේ යෙදිලා ඉන්න අවස්ථාවක මොන වගේ වෙනස්කම් ද කරන්න පුළුවන් කියලා අපි යම් යෝජනා කිහිපයක් ලබා දෙනවා විතරයි, ඒ යෝජනා බාර ගන්නවා ද නැද්ද කියන දේ සම්පූර්ණයෙන්ම නායකගේ තීරණයක්.ඒ ඇරුණහම නායකයාට කණ්ඩායම මෙහෙයවන්න අවශ්‍ය විදිහ කියලා දෙනවා නෙවෙයි.”

ඊයේ පැවති තරගයෙන් ලද ජයත් සමඟින් B කාණ්ඩය නියෝජනය කරමින් ආසියානු කුසලානයේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඔවුන්ගේ මීළඟ තරගය නැවතත් ඇෆ්ගනිස්තානය සමඟ හෙට (03) දෙවැනි වටයේ පළමු තරගය ලෙස පැවැත්වීමට නියමිතයි.

අද ආසියානු කුසලානයේ මූලික වටයේ 6 වැනි සහ අවසන් තරගය ලෙස පාකිස්තාන සහ හොංකොං කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට නියමිත අතර එම තරගයේ ජයග්‍රාහකයින් A කාණ්ඩයේ දෙවැනි කණ්ඩායම ලෙස ඉන්දියාවට පසුපසින් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇති.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<