ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා IPL ගැන තීරණයක් ගැනීමට සැරසෙයි

ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය 2022

3135
Mitchell Starc

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන Mitchell Starc දිගු විවේකයකින් පසුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම පිළිබඳව සලකා බලමින් සිටින බව ප්‍රකාශ කර තිබෙනවා.

2022 වසරේ ඉතා කාර්යබහුල කාලසටහනක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇති අතර ඔවුන්ට උප මහද්වීපවල තරගාවලි කිහිපයක් සහ ප්‍රධාන ලෙස වසර අවසානයේ දී විස්සයි විස්ස කිරුළ රැකගැනීමට සිය රටේ දී තරග වැදීමට නියමිතයි.

2015 වසරේ දී අවසන් වතාවට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියකට සහභාගී වූ Mitchell Starc මෙවර ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔහු තවමත් තීරණයක් ගෙන නොමැති වූවත් සිකුරාදායින් අවසන් වන ක්‍රීඩක වෙන්දේසියට නාමයෝජනා ලබා දීම පිළිබඳව සලකා බලන බවයි.

Mitchell Starcව අවසන් වරට Kolkata Knight Riders විසින් ඉන්දීය කෝටි 9.4ක මුදලකට මිල දී ගත් නමුත් ආබාධයක් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට පසුව ඔහු තීරණය කළා.

පෙබරවාරි 12 සහ 13 දිනවල බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් වීම පිළිබඳව cricket.com.au වෙත අදහස් දක්වමින් Mitchell Starc ප්‍රකාශ කර සිටියේ,

මට මගේ ලිපි ලේඛන ලබා ගැනීමට දින දෙකක කාලයක් තියෙනවා. ඒ නිසා බොහෝ විට අද පුහුණුවීම්වලට පෙර කරන්න දෙයක් තියෙයි. මම මගේ නම තවම වෙන්දේසියට ඇතුළත් කරලා නැහැ. නමුත් මට එය තීරණය කිරීමට දින දෙකක කාලයක් ලැබුණා.’’

මේ වන විට 31 වැනි වියේ පසුවන Mitchell Starcට ඉදිරියේ ඇති තරග සහ කාර්යයන් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් ඔහු මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීම පිළිබඳව තීරණය ගනු ඇත.

ක්‍රිකට් පිටියේ සියලූම ආකෘතීන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු ලෙස Mitchell Starc හට ඉතා කාර්යබහුල කාලසටහනක් ඇති අතර මේ දිනවල පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ අවසන් තරගයෙන් පසු ඔහු නවසීලන්තය සමඟ එක්දින තරග තුනකට සහ එක් විස්සයි විස්ස තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගවලින් පසුව ඔවුන්ට ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරග 5කට සහභාගී වීමට ඇති අතර ඉන්පසු ඔවුන් සම්පූර්ණ තරගාවලියක් සඳහා පාකිස්තානයේ සංචාරයකට එක්වීමට සැලසුම් කර ඇත.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ දැමීම නිසා තරගාවලිය ජුනි මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජුනි සහ ජූලි මාසවල දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලි සැලසුම් කිරීමේ දී මෙන්ම අපි වගේ සියලුම ආකෘතීන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සඳහා සිදු නොවිය යුතු දේවල් ටිකක් වෙමින් පවතිනවා. ඉදිරි තරග කාලසටහන ඉතාමත් තදබදයක් සහිත එකක්.

අපිට අළුබඳුන තරගාවලියට පසුව සහ පාකිස්තාන තරගාවලියට පෙර සීමිත පන්දුවාර තරගාවලි දෙකක් ලැබිලා තියෙනවා. ඉන්පසුව ශ්‍රී ලංකා සංචාරය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැලකිල්ලට ගන්න පුළුවන්. ඉතින් එය සෑම දෙනාම සඳහා දැවැන්න මාස හයක්”, යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණා.

Times Of India වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<