මහ වැසි මැද්දේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක්!

Asian Relay Championship 2024

135
Asian Relay Championship 2024

තායිලන්තයේ බැංකොක් හිදි පැවැත්වෙන ආසියානු සහය දිවීමේ ශූරතාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිරිමි 400×4 කණ්ඩායම අද (21) සමත් වුනා

ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන මෙම ශූරතාවලියේ පළමු දිනයේ දී ශ්‍රී ලංකාව මිශ්‍ර 400×4 ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, අද දිනය ආරම්භ කරමින් කාන්තා 100×4 කණ්ඩායම තරග බිමට පිවිසුනත් ඔවුන්ට සිය ඉසව්වෙන් හිමි වුනේ පස් වැනි ස්ථානයයි. මෙහි දී ඔවුන්ගේ තරග නිමි කාලය තත්පර 44.58ක් ලෙස සටහන් වුනා.

මින් පසුව පිරිමි 100×4 කණ්ඩායම තරග බිමට පිවිසුණු අතර, ඔවුන් තත්පර 40.53ක කාලයක් සමඟ ඉසව්වේ සිව් වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා.

මින් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තු ලෙස සැලකිය හැකි මීටර් 400×4 ඉසව් ආරම්භ වූ අතර, පළමුවෙන් තරග බිමට පිවිසුණු කාන්තා කණ්ඩායමට නම් අද දිනය එතරම් සුබදායී වුනේ නැහැ. මෙහි දී ඔවුන් විසින් මිනිත්තු 3.36.56ක කාලයක් සමඟ ඉසව්වේ සිව් වැනි ස්ථානයට පත් වුනා. මෙම ඉසව්වට මෙන්ම මිශ්‍ර 400×4 ඉසව්වට ද තරුෂි කරුණාරත්නගේ සහභාගීත්වය අහිමි වීම විශේෂයෙන්ම කැපී පෙනුණා.

මින් පසුව ශ්‍රී ලංකා පිරිමි 400×4 කණ්ඩායම ධාවන පථයට අවතීර්ණ වූ අතර, ඔවුන් විසින් මිනිත්තු 3.04.48ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, දිනුක දේශාන් සහ කාලිංග කුමාරගේ ඉසව්වට සහභාගී වූ අතර, තරගයේ අවසන් ධාවකයා ලෙස තරග කළ කාලිංග විසින් විශිෂ්ට ධාවනයක යෙදෙමින් එතෙක් වේලා දෙවැනි ස්ථානයේ රැඳුණු ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා දීමට සමත් වුනා. ශ්‍රී ලංකාව මෙම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරනා අතරේ පසුගිය දා නිමා වූ ලෝක සහය දිවීමේ ශූරතාවලියට සහභාගී වෙමින් ඔලිම්පික් සුදුසුකම් ලබා ගත් ඉන්දියාව ශ්‍රී ලංකාවට දෙවැනි වෙමින් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමත් විශේෂ සිදුවීමක් ලෙස සඳහන් කළ හැකි.

එමෙන්ම අද දිනයේ පැවැත්වුණු මෙම සියලු තරග ඉසව් සඳහා අධික වර්ෂාවෙන් බාධා පැමිණුණ අතර, එය ධාවකයින්ට සිය හොඳම කාල සීමා වෙත ළඟා වීමට අපහසු කරවූ බවත් වටහා ගත හැකි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත තොරතුරු සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<