භානුක තීරණය වෙනස් කරයි

1644
Bhanuka Rajapaksa

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ගෙන තිබූ තීරණය වෙනස් කරන්නට තීරණය කර තිබෙනවා.

ජනවාරි 5 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය විශ්‍රාම ගැනීම තහවුරු කර තිබුණු අතර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වීම ඔහුට අසීරු කාර්යයක් වීමට ඉඩ තිබෙන නිසා මේ තීරණය ගෙන තිබුණු බවයි වාර්තා වෙන්නේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ තමා සිය පුද්ගලික ජීවිතයේ වගකීම් පිළිබඳ සලකා බලා මෙම තීරණයට එළඹි බවයි.

“මම ක්‍රීඩකයෙකු ලෙස මගේ ස්ථානය ගැනත්, ස්වාමිපුරුෂයෙකු ලෙස මගේ තත්වය ඉතාමත් හොඳින් සලකා බැලූ අතර, ඉදිරියේ දී අපේක්ෂාවෙන් සිටින පිය පදවිය සහ ඒ ආශ්‍රිත පවුල් බැඳීම් බලාපොරොත්තුවෙන් මම මෙම තීරණය ගන්නවා”, යැයි ඔහු සිය සමුගැනීමේ ලිපියේ සඳහන් කර තිබුණා.

සිය විශ්‍රාම ගැනීමේ තීරණය පිළිබඳව මෙරට ක්‍රිකට්ලෝලීන් බොහෝ දෙනෙක් නැවත වරක් සිතා බලන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටි අතර වත්මන් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන ලෙස භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියා.

30 හැවිරිදි වියේ පසු වන භානුක මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 5කට සහ විස්සයි විස්ස තරග 18කට ක්‍රීඩා කර වාර්තා කරගෙන සිටින මුළු ලකුණු සංඛ්‍යාව 409ක්.

එක්දින අර්ධ ශතකයක් සහ විස්සයි විස්ස අර්ධ ශතක දෙකකට ද හිමිකම් කියන ඔහුගේ විස්සයි විස්ස ප්‍රහාරාත්මක වේගය 136+කට වඩා වැඩි අගයක් ගන්නවා.

නිමා වූ ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ඉනිම් 6ක් තුල 143.51ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන ලකුණු 155ක් රැස්කිරීමට භානුක සමත් වුනා.

පසුගිය දා අවසන් වූ LPL ක්‍රිකට් තරගාවලියේ Galle Gladiators අනුශූරතාවය දක්වා රැගෙන යාමට භානුක සමත් වූ අතර 2020 පැවති පළමු LPL තරගාවලියේ දී ද ඔහු නායකයෙක් ලෙස එම දස්කම දැක්වූවා. තවද භානුක 2021/22 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී Chennai Braves කණ්ඩායම ද නියෝජනය කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<