Stokes නැවත එයි; Archerට ලෝක කුසලානය අහිමි වෙයි!

ICC Cricket World Cup 2023

1059

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත එංගලන්ත සංචිතය (තාවකාලික) නිවේදනය කර තිබෙනවා.

එංගලන්තය සහ නවසීලන්තය අතර අගෝස්තු 30 වැනිදා සිට ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත එංගලන්ත සංචිත ඊයේ (16) දිනයේ දී ප්‍රකාශයට පත් කළ අතර එංගලන්ත තේරීම් කමිටු ප්‍රධානී Luke Wright විසින් සඳහන් කර තිබුණේ එම සංචිතය ම එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් ද ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

මෙහි දී එළඹෙන නවසීලන්ත තරගාවලිය වෙනුවෙන් නම් කළ එංගලන්ත සංචිතය වෙනුවෙන් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට සමු දී සිටි Ben Stokesව නැවත කැඳවා ඇති අතර, එංගලන්ත යොවුන් පිතිකරු Harry Brook සංචිතයෙන් ඉවතට විසි වී තිබෙනවා. මීට අමතරව එංගලන්තය විසින් මහත් බලාපොරොත්තු තබා සිටි වේගපන්දු යවන්නකු වන Jofra Archer හට ද මෙම සංචිතයේ ඉඩක් වෙන් වී නැහැ. ඒ වෙනුවට නවක වේගපන්දු යවන්නෙකු වන Gus Atkinson මෙම සංචිතයට තෝරා ගැනීමට එංගලන්තය තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

“සමහර ක්‍රීඩකයින් මඟහැරීම ඉතාම අපහසුයි. ඉංග්‍රීසි ක්‍රිකට් වල අපට ඇති ශක්තිය සහ ගැඹුර කොතරම් ද කියලා එයින් පැහැදිලි වෙනවා.

ක්‍රීඩකයින් පහළොස් දෙනෙකුගෙන් සමතුලිත සංචිතයක් නම් කිරීම ඇදහිය නොහැකි තරම් අසීරු කටයුත්තක්.”

එංගලන්ත සංචිතය නම් කිරීමෙන් පසුව Wright විසින් එසේ සඳහන් කර තිබුණා.

මෙහි දී 2019 එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ Ben Stokes මෙම සංචිතයට එක් වීම ක්‍රිකට් ලෝකය තුළ විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

පසුගිය වසරේ ජූලි මාසයේ දී එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කළ Stokes තම තීරණය නැවත හරවා ගනිමින් නැවතත් එක්දින තරග රටාවට නැවත අවතීර්ණ වන බව දැනුම් දුන් අතර, එය සම්පූර්ණයෙන්ම එළඹෙන ලෝක කුසලානය අරඹයා සිදු වූවක් බව පැහැදිලියි.

මේ වන විට එංගලන්ත ටෙස්ට් නායකත්වය හොබවන Stokesට සහ එංගලන්තයට ලබන වසර වන තෙක් ම ටෙස්ට් ක්‍රිකට් තරග නොමැති නිසා ඔහුගේ මෙම නැවත පැමිණීමේ තීරණය ගැනීමට පහසු එකක් වූ බව විශ්වාස කළ හැකියි.

එමෙන්ම එළඹෙන නවසීලන්තය සමඟ එක්දින තරගාවලිය වෙනුවෙන් Stokesගේ නම ඇතුළත් කර තිබුනත්, විස්සයි විස්ස සංචිතයේ ඔහුගේ නම ඇතුළත් නොවීමත් විශේෂත්වයක්.

(ඔහු විස්සයි විස්ස පිටියට සමු දී නොමැති අතර, නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළා.)

Ben Stokesගේ නැවත පැමිණීම කණ්ඩායමට ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කරනු ඇති බව Wright විසින් සඳහන් කරනවා.

මේ අතර Stokesගේ නැවත පැමිණීම තරමට ම අවධානය යොමු වූ අනෙක් කාරණය වුනේ මෙම සංචිතයේ Jofra Archerගේ නම ඇතුළත් නොවීමයි.

“අපි දන්නවා අපි හැමෝම ඔහුව ලබා ගන්න මොන තරම් බලාපොරොත්තු තියා ගෙන හිටියා ද කියලා. ඒ ගැන කිසිම සැකයක් නැහැ.

ඔහු මෙම ආබාධ සමඟින් ඉතාම අවාසනාවන්ත වුනා. අවාසනාවකට දැන් අපේ වෙලාව ඉවර වෙමිනුයි යන්නේ.

ඔහු ප්‍රමාණවත් තරම් ඉක්මනින් පැමිණෙන්නේ නැහැ, විශේෂයෙන්ම ලෝක කුසලානයේ පළමු කොටස වෙනුවෙන්.”

Archer මෙම ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර නොමැති වුවත් ඔහු අතිරේක ක්‍රීඩකයකු ලෙස ඉන්දියාවට යනු ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ. එමෙන්ම ඔහුගේ ආබාධ තත්වය අනුව බොහෝ විට තරගාවලියේ මැද භාගයේ දී ඔහු එංගලන්ත කණ්ඩායම සමඟ එක් වීමට (අවශ්‍ය වුවහොත්) ඉඩ ඇති බවටත් Wright විසින් ඉඟි කරනවා.

එමෙන්ම මෙම එංගලන්ත සංචිතය තවමත් තාවකාලික (වෙනස් කිරීම් වලට භාජනය විය හැකි) මට්ටමේ පවතින බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

ලෝක කුසලානය සඳහා සහභාගී වන සංචිත සැප්තැම්බර් 05 වැනිදා තෙක් විධිමත් ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර, සැප්තැම්බර් මස 28 වැනි දා තෙක් ඉදිරිපත් කරන සංචිතවල වෙනස් කම් සිදු කිරීමට ද අවස්ථාව හිමි වනවා.

එම නිසා Jofra Archerගේ නම මෙම සංචිතයට එක් වීමට යම් ඉඩක් ඇති නමුත් එය එසේ සිදු වේ ද යන්න පිළිබඳ ව නම් ඉතිරි වී ඇත්තේ සැකයක් පමණයි.

මේ අතර මෙම එංගලන්ත සංචිතයට එක් වී ඇති නවක වේගපන්දු යවන්නා වන Gus Atkinson පිළිබවඳවත් මේ වන විට තරමක කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

පළමු පෙළ තරග ක්‍රීඩා කිරීමෙන් හෝ එතරම් අත්දැකීම් නැති ක්‍රීඩකයකු වුවත් පැයට සැතපුම් 90-95 දක්වා වේගයකින් යුතුව පන්දු යැවීමට ඇති හැකියාව ඔහුට මෙම සංචිතයේ දොර විවර වීමට හේතුව වූ බව අනුමාන කළ හැකි.

නවසීලන්තය සමඟ එක්දින තරගාවලිය/ ලෝක කුසලානය සඳහා (තාවකාලික) එංගලන්ත සංචිතය: Jos Buttler (නායක), Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Sam Curran, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Joe Root, Jason Roy, Ben Stokes, Reece Topley, David Willey, Mark Wood, Chris Woakes

නවසීලන්ත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නම් කළ එංගලන්ත සංචිතය: Jos Buttler (නායක) Rehan Ahmed, Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Harry Brook, Sam Curran, Ben Duckett, Will Jacks, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Josh Tongue, John Turner, Luke Wood

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<