කමිල් මිශාරටත් කොරෝනා ආසාදනය වෙයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

361

සිම්බාබ්වේ සමඟ ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබූ යොවුන් ක්‍රිකට් ක්‍රීඩක කමිල් මිශාර හට ද කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයින් හට ඊයේ (12) සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මේ බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුට එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය අහිමිව යනවා.

කමිල් මිශාර එලෙස කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසුව සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ස්වයංනිරෝධායනයට යොමු කිරීමට වෛද්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

කමිල් මිශාරට පෙර ශ්‍රී ලංකා සංචිතයට කැඳවා සිටි බවට තොරතුරු වාර්තා වුනු අවිශ්ක ප්‍රනාන්දු හා ජනිත් ලියනගේ හට ද කොරෝනා වයිරසය ආසාදනය වුනා. ඒ අනුව එම ක්‍රීඩකයින් දෙදෙනා ද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කෙරුණා.

තරගාවලිය සඳහා සහභාගී වන සිම්බාබ්වේ කණ්ඩායම පසුගිය 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු වන Lalchand Rajput හට ද වයිරසය ආසාදනය වී තිබෙන බව පසුගිය දා තහවුරු වුනා.

කෙසේ වුවත් ශ්‍රී ලංකා සංචිතයෙන් විටින් විට වයිරසය ආසාදිත වුනු ක්‍රීඩකයින් මතු වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තරගාවලිය සඳහා සහභාගි වන නිල ශ්‍රී ලංකා සංචිතය තවමත් ප්‍රකාශ කර නැහැ.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය 2020-2023 ලෝක කුසලාන සුපර් ලීගයේ (2020–2023 ICC Cricket World Cup Super League) කොටසක් ලෙස පැවැත්වෙන අතර තරග සියල්ල දිවා/රාත්‍රි තරග ලෙස මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජනවාරි 16
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 18
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<